ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය විසින් නාන කාමර උපාංග ක්ෂේත්‍රය ආශ්‍රිත ගුණාත්මකභාවය, දැරිය හැකි මිල සහ විශ්වාසය ගොඩනැංවීම පිළිබඳ සැසියක් පවත්වයි

සමස්ත සෙරමික් කර්මාන්තය ආශ්‍රිතව සම්මුතියක් ගොඩනැංවීම සඳහා වන ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය (SLCGC) විසින් මෙරට නාන කාමර උපාංග ක්ෂේත්‍රයේ  ගුණාත්මකභාවය, දැරිය හැකි මිල සහ විශ්වාසය ගොඩනැංවීම වෙනුවෙන් විද්වත් සාකච්ඡාවක්  සංවිධානය කෙරිණි.  2022 ඔක්තෝම්බර් මස 19 වන දින කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුණු මෙම සැසියට විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරන නිලධාරීහු, නාන කාමර උපාංග නිෂ්පාදකයෝ සහ සම්භාවනීය සාකච්ඡා මණ්ඩල සාමාජිකයන් රැසක් සහභාගි වූහ.

මෙම සුවිශේෂී සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතා සහභාගි වූ අතර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති රෝහණ විජේසේකර, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම, ලංකා මිනරල් ඇන්ඩ් කෙමිකල් (පෞද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මානවචන්ද්‍ර බෝපිටිය, රෝයල් සෙරමික්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා සහ RSL සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නිශාන්ත නානායක්කාර යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය විසින් දේශීය නාන කාමර උපාංග ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් අවධාරණය කළේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තවමත් විශ්වාස කරන්නේ රට තුළ පවතින්නේ නාන කාමර උපාංග ආශ්‍රිත සන්නාම 1 ක් හෝ 2 ක් පමණක් වන බවයි.  නමුදු වර්තමානය වන විට මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව සුළු, මධ්‍යම හා මහා පරිමාණ නාන කාමර උපාංග නිෂ්පාදකයින් 8කට වැඩි සංඛ්‍යාවක් සේවා සපයන බවත්, ඔවුන්හට විවිධ මිල ගණන්වලට මෙන් ම විවිධ තත්ත්වයන්ට  අනුකූලව මෙරට වෙළෙඳපොළ වෙත නිෂ්පාදන සැපයීමේ හැකියාව පවතින බවත් එහි දී සඳහන් කෙරිණි.

මෙම සැසියේ දී දේශීය නානකාමර උපාංග නිෂ්පාදකයින් වන Royal Ceramics Lanka PLC, RSL Ceramics (Pvt) Ltd., Mulatiyaana Ceramics (Pvt) Ltd., Nilwala Ceramics Village (Pvt) Ltd., Otto Bath ware, Hega Tile (Pvt) Ltd., Embilipitiya Ceramics (Ptd) Ltd., Novel Ceramics (Pvt) Ltd., සහ Dilax Chemical (Pvt) Ltd. යන ආයතන වෙත අවධානය යොමු කෙරුණු අතර, සැසිවාරය අතරතුර දී ඉහත සඳහන් ඇතැම් නිෂ්පාදකයින්ගේ නිපැයුම්වල විවිධ ප්‍රමිතීන් හා මිල පරාසයන් දැක්වෙන නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.

COVID-19 වසංගතය මෙන් ම වර්තමාන ආර්ථික අර්බුදය නිසා දේශීය නාන කාමර උපාංග නිෂ්පාදන ක්ෂේත්‍රය වෙත එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද මෙම සැසියේ දී සාකච්ඡා කෙරුණු අතර, 2020 වසරේ මුල් භාගයේ දී, නාන කාමර උපාංග සඳහා රට තුළ පැවති ඉල්ලුම සපුරාලීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොතිබුණු බවත්, ආනයන සීමා කිරීම නිසා මෙම කර්මාන්තයට ද විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් එහි දී අනාවරණය කෙරිණි.

නාන කාමර උපාංග නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිතව නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම පිළිබඳව රජය විසින් සිදුකරන ලද ඉල්ලීම් හේතුවෙන් කර්මාන්තශාලා ස්ථාපනය කිරීම සහ රුපියල් බිලියනයකට  අධික ආයෝජන හරහා මෙම කර්මාන්ත ක්ෂේත්‍රය පුළුල් කිරීමට කටයුතු කෙරිණි. මෙසේ නව කර්මාන්තශාලා රාශියක් ස්ථාපනය කිරීම හරහා සමස්ත නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම හේතුවෙන් වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළ අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වීමට හැකියාව ලැබුණු බව ද සඳහන් කළ යුතු ම කරුණකි. එමෙන් ම නාන කාමර උපාංග ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 80% ක් දේශීයව සපයා ගත හැකි බව ද ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය විසින් තහවුරු කෙරුණු අතර, එමගින් අමුද්‍රව්‍ය ආනයනය සැලකිය යුතු මට්ටමකින් අවම කරගත හැකි බව ද සහතික කෙරිණි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *