AIESEC Sri Lanka වෙතින් උසස් පෙළ නිමකළ සිසුන්ට Amplifier 2021 වැඩමුළුව දියත් කරයි.

AIESEC Sri Lanka මඟින් සංවිධානය කරනු ලබන Amplifier 2021 වැඩමුළුව, අ.පො.ස. උසස් පෙළ විභාගය නිමකර සිටින සිසු සිසුවියන් ඉලක්ක කොට සිදුකරනු ලබන නායකත්ව සංවර්ධන වැඩමුළුවකි. මේ සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීමේදී ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, එක් දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් සිසුන් දස දෙනෙක් (10) වන පරිදි මුලු සිසුන් ගණන 250ක් ඉක්මවූ පිරිසක් මේ වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි.

මෙම වැඩසටහන තුළින් නායකත්ව සංවර්ධනය දිවයිනේ සියලුම දරු දැරියන් හට ලබාගත හැකි සම්පතක් බවට පත් කිරීම AIESEC Sri Lanka හි අරමුණයි.  එය 2021 සැප්තැම්බර් මස 19 වැනිදා සිට 2021 නොවැම්බර් 28 වැනිදා තෙක් පුරා තුන් මසක් ඔස්සේ පැවැත්වේ.

මෙහිදී පවත්වන විවිධ වැඩසටහන් හමුවේ මෙම සිසු සිසුවියන් හට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් සහ අනුශාසනා යටතේ ඔවුන්ගේ පෞරුෂ වර්ධනය සහ හැකියාවන් හා කුසලතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාවන් හිමිවේ. මෙහි ඇතැම් වැඩසටහන් මෙහෙයවීම  සඳහා AIESEC Sri Lanka හි සාමාජික කමිටුවේ ආදි සාමාජිකයන් සහ ක්‍රියාකරී සාමාජිකයන් ඉතාමත් ක්‍රියාකාරීව සහභාගීත්වය දක්වන ලදී. එමෙන්ම මේ තාක් කල් පැවැත්වුණු වැඩසටහන් අතරින් හසින්ත හේවාවසම් මහතා (Social influencer, Co-director of Nirwana Club and the Founder of SL Motivational Community) විසින් මෙහෙයවූ අභිප්‍රේරණ සැසිය (Motivational Session), කුමාර් ඩි සිල්වා මහතාගේ (Personality development and corporate etiquette trainer, Personality development and corporate etiquette trainer, Lead trainer at Kumar de Silva Training & Former audio visual officer at Embassy of France in Sri Lanka) සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

පෞරුෂ වර්ධන පුහුණු සැසිය සහ ශුහෙයිබ් අලි මහතාගේ (Founder of Pufferfish, Certified Skills Development Coach and Communications Evangelist) මඟපෙන්වීම යටතේ සිදුකෙරුණු කරුණු ඉදිරිපත් කිරිමේ සහ සභාවක් ඉදිරියේ කතා කිරිමේ හැකියාවන් (Presentation and Public Speaking skills) වැඩිදියුණු කරගැනීමට Amplifier 2021 සමඟින් සම්බන්ධ වූ සිසු සිසුවියන් හට හැකියාව ලැබුණි. 

  මේ සියලුම සැසි වාරයන් අතරතුර දී සහභාගීවන්නන් පිණවීම සඳහා The Voice තරඟාවලියේ තරඟකරුවන් ගීත ගායනා කිරීමට Amplifier 2021 සමඟින් එක් වුණි. ඊට අමතරව කේශවී පුස්වේවල මෙනෙවිය (Senior HR business partner corporate functions, T&O & employer brand lead – Unilever Sri Lanka) සමඟින් නායකත්ව කුසලතා සංවර්ධනය කරගැනීමේ වැදගත්කම යන මාතෘකාව යටතේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව ද මෙම සිසු සිසුවියන් හට ඉතාමත් වැදගත් සිදුවීමක් විය. මෙහි ඇති අද්විතීය කරුණ වන්නේ මෙම සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම Amplifier 2021 සමඟ සම්බන්ධ වූ සිසු සිසුවියන් විසින්ම සිදුකිරීමයි. මෙය ඔවුන්ට ඔවුන් මේ තාක් දුරට වැඩිදියුණු කරගැනීමට යෙදුණු හැකියාවන් උරගා බැලීමට Amplifier 2021 හි සංවිධායක මණ්ඩලය මඟින් ලබාදුන් වටිනා අවස්ථාවකි.

   එපමණක් නොව Amplifier 2021 හි සංවිධායක මණ්ඩලය, NEWS 1st හි ගම්මැද්ද V-Force තරුණ ව්‍යාපාරය සමඟින් එකතුව, කස්තුරි චෙල්ලරාජා මෙනෙවියගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණු සම්මුඛ සාකච්ඡාව ඒ සඳහා සහභාගී වූ සිසු සිසුවියන් හට නායකයෙකු වශයෙන් අන්‍යන්ව දිරිගැන්වීමේ ගුණයෙන් හෙබිවීමේ වැදගත්කම අවබෝධ කරගැනීමට විශාල වශයෙන් උපකාරී විය.

 එමෙන්ම Amplifier 2021 හි සංවිධායක මණ්ඩලයේ සංකල්පයකට අනුව මෙය සමඟ එක්ව සිටින සිසු සිසුවියන් හට ඔවුන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ගෙනහැර පෑමට අවස්ථාවක් ලෙස Amplifier Got Talent විශේෂාංගය හඳුන්වා දීමට යෙදුණි. එය 2021 නොවැම්බර් මස 16 වැනිදා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස නව පරපුරේ ගායක ශිල්පීන් කිහිපදෙනෙකුගේ ද සහභාගීත්වයෙන් අති සාර්ථකව පැවැත්වුණි.

    Amplifier 2021 සමඟින් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි විශේෂාංග ලෙස තරුණ සංවාද මණ්ඩපය (Youth Forum) බලාපොරොත්තු විය හැකියි. එය නොවැම්බර් 27 සහ 28 යන දෙදින පැවැත්වීමට නියමිතයි. මෙම අවස්ථාව වයස අවුරුදු 18ත් 30ත් අතර පරාසයේ දිවයිනේ සියලුම තරුණ ප්‍රජාවට විවෘත කිරීමට සංවිධායක මණ්ඩලය අදහස් කර සිටියි. ඒ අනුව මේ සඳහා සම්බන්ධ වීමට අ.පො.ස. උසස් පෙළ ශ්‍රේණි වල සිටිනා සිසු සිසුවියන් හටත්, අ.පො.ස. උසස් පෙළ විභාගය නිම කර සිටින සිසු සිසුවියන් හටත් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් හටත් යන සියලුම කොට්ඨාස වලට විවෘත අවස්ථාවක් ලෙස මෙය පැවැත්වෙනු ඇත. මෙය IMUN අන්තර්ජාතික ආදර්ශ එක්සත් ජාතීන්ගේ සමුළුවක ආකෘතියට සමාන ආකෘතියක් යටතේ සිදුවනු ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *