Huawei විසින් අධ්‍යාපන අමාත්‍යංශය හා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව වෘත්තීය පුහුණු සඳහා NAITA – Huawei ICT ඇකඩමිය දියත් කරයි

දේශීය මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපොල ජයග්‍රහණය කළ හැකි, කුසලතා වලින් සන්නද්ධ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ වෙත සහයෝගය දක්වමින්, Huawei විසින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) හා අවබෝධතා ගිවිසුමකට (MoU) එක්ව ඇත. මේ හරහා දේශීය තරුණ තරුණියන්ට විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ විවිධ අංශයන් පිළිබඳ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම සඳහා වූ NAITA – Huawei ICT ඇකඩමිය ආරම්භ වනු ඇත.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෘත්තීය පුහුණු ආයතනයක් වන NAITA, අධ්‍යාපනය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පරිපාලනය වේ. 

මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල,  රාජ්‍ය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය  අමාත්‍යාංශයේ ලේකම් දීපා ලියනගේ, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත්,  Huawei ටෙක්නොලජීස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yi යන මහත්ම මහත්මීන් සහභාගී විය. 

මෙහිදී අදහස් දක්වමින් වෛද්‍ය සීතා අරඹේපොල  මහත්මිය මෙලෙස පැවසීය.  “අපට අවශ්‍ය වන්නේ කුසලතා වලින් පිරිපුන් කාර්යක්ෂම සහ දක්ෂ තරුණ පරපුරක් නිර්මාණය කිරීමයි.  මෙහිදී තාක්ෂණ හා බැඳුණු අධ්‍යාපනය විශාල කාර්යභාරයක් ඉටු කරනවා.  මෙම Huawei තොරතුරු තාක්ෂණ ඇකඩමිය හරහා සිදුවන්නේද අනාගත ඩිජිටල් ලොව ජයගැනීම උදෙසා වර්තමාන තරුණ පරපුර බලගැන්වීම ලෙස මා දකිනවා. ඉදිරියේදී මෙම තාක්ෂණික ඇකඩමිය රටේ ග්‍රාමීය ප්‍රදේශ වෙත පවා ව්‍යාප්ත කිරීමට අප සැළසුම් කර සිටිනවා.” 

“Wireless හා Datacom Hardware ස්ථාපනය, Environment Health & Safety (EHS) සහ ගුණත්ව වර්ධනය ඇතුළුව  විදුලි සංදේශ ඉංජිනේරුවන්ගේ දැනුම හා පුහුණුවීම් සමඟ වාර්ෂිකව තරුණ තරුණියන් 300 කට අධික සංඛ්‍යාවක් පුහුණු කිරීමට අපි අපේක්ෂා කරනවා.  මෙවැනි සහයෝගීතාවයක් තුළින් අපේ රටේ තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කිරීමට දායකත්වය දැක්වීමට Huawei හා සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වනවා.” ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතා පැවසීය. 

මෙහිදී අදහස් දැක්වූ Huawei ටෙක්නොලජීස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yi මහතා පැවසූයේ,  තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා වෙළඳ පොළෙ තුළ පවතින කුසලතා ඉල්ලුම හා සැපයුම අතර යම් අසමබරතාවයක් පවතින බව අපට පෙනී යනවා. මේ සඳහා දිගු කාලීන විසඳුමක  අවශ්‍යතාවක් පවතින නිසා,  විශ්ව විද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයතන හා ව්‍යාපාර ආයතන හා එක්ව ගැටලුවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට Huawei අඛණ්ඩව ක්‍රියා කරනවා. මෙහි තවත් එක් සංධිස්ථානයක් පසුකරමින් අත්සන් කෙරුණු මෙම අවබෝධතා ගිවිසුම හරහා Huawei ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳ පොළ වෙත අවශ්‍ය සම්පත් වර්ධනය උදෙසා විශාල දායකත්වයක් දැක්වීමට ක්‍රියා කරනවා. Huawei විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයන් සඳහා විශාල වශයෙන් ආයෝජන සිදු කරනවා. මේ අතරම, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුලු අනෙකුත් රාජ්‍ය අමාත්‍යංශයන් හා එක්ව ක්ෂේත්‍ර දැනුම, නවෝත්පාදන හා කුසලතා සංවර්ධනය සඳහා Huawei අඛණ්ඩව ආයෝජන සිදු කරනවා. අපගේ බලාපොරොත්තුව වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා කැපවී ක්‍රියා කිරීමයි”  

NAITA -Huawei ICT ඇකඩමිය විසින්, Huawei’s certification system සමඟින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ තරුණ තරුණියන් සඳහා අවශ්‍ය වෘත්තීය අධ්‍යාපනය සමඟින් පුහුණුව ලබා දේ. 

පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන අතරම තාක්ෂණික පර්යේෂණ සඳහා විශාල වශයෙන් ආයෝජනය කරමින් ලෝකය ඉදිරියට ගෙන යන තාක්‍ෂණික දියුණුව කෙරෙහි විශාල අවධානයක් යොමු කරන බව Huawei පවසයි.  පසුගිය වසරේ Huawei විසින් තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම  සඳහා ඩිජිටල් කුසලතා පරතරය අවම කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් මොරටුව විශ්ව විද්‍යාලය හා සහයෝගීතා ගිවිසුමකටද එක්විය. 

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *