IIT ආයතනය, රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලය හා එක්ව පළමු වරට Artificial Intelligence හා Data Science සඳහා BSc (Hons) උපාධි පාඨමාලා දියත් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology (IIT) ආයතනය මගින් Artificial Intelligence හා Data Science පාඨමාලා සඳහා BSc (Hons) උපාධි හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා දියත් කෙරිණි. ශ්‍රී ලංකාවේ පළමු වරට Artificial Intelligence හා Data Science යන විෂයන් සඳහා බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලය මගින් පිරි නමන BSc (Hons) උපාධි සිසුන්ට හිමි කරදීම අරමුණු කරමින් එම වැඩසටහන පසුගියදා අන්තර්ජාලය මගින් පැවැත්විණි.

මෙම උපාධි හඳුන්වා දීමේ වැඩසටහන බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලයේ  ප්‍රධානී ආචාර්ය ජෝන් අයිසැක්, එම විශ්ව විද්‍යාලයේ Intelligent පද්ධති පර්යේෂණ අංශයේ මහාචාර්ය නිර්මලී වීරතුංග, WSO2 ආයතනයෙහි ව්‍යාපාර එකාබද්ධතා සාමාන්‍යාධිකාරී හා සභාපති, ෂෙවාන් ගුණතිලක හා IIT පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. අන්තර්ජාල ෆෝරමයක් ලෙසින් පැවති එම හඳුන්වා දීමේ වැඩසටහන, IIT හි පරිගණක අංශ ප්‍රධානී ආචාර්ය දමිත කරුණාරත්න මහතාගේ  මෙහෙයවීමෙන්  පැවැත්විණි.

මේ වන විට තොරතුරු තාක්ෂණ වෘත්තිය ආශ්‍රිත Artificial Intelligence හා Data Science යන විෂයන් සම්බන්ධයෙන් දේශීය හා විදේශීය රැකියා වෙළෙඳ පොළේ  ඉහළ ඉල්ලුමක් පවතී. එහෙත් එම විෂයන් උපාධි මට්ටම දක්වා හැදෑරීමට සිසුනට පවතින අවස්ථා ඉතා විරල ය. මෙම විෂයන් සම්බන්ධයෙන් පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, සිසුනට දේශීය හා ජාත්‍යන්තර අවස්ථා උදා කර දෙමින් Artificial Intelligence සහ  Data Science යන විෂයන් සඳහා BSc (Hons) උපාධි පිරි නැමීමට IIT ආයතනය අවස්ථාව උදා කර දී තීබීම විශේෂත්වයකි.

මෙම වැඩසටහන මගින්  තොරතුරු  තාක්ෂණය සම්බන්ධයෙන්  නවීනතම විසඳුම් වැඩි දියුණු කිරීමට හැකි වන පරිදි, Artificial Intelligence සහ  Data Science යන විෂයන්  සම්බන්ධ සමකාලීන ප්‍රවණතා සහ තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට සිසුන්ට හැකි වේ. අවුරුදු 4 ක මෙම පූර්ණ කාලීන ක්‍රමවත්  උපාධිය ඔසසේ සිසුන්  වසර ගණනාවක් හැදෑරීම සිදු  කරද්දී, සාමාන්‍ය මොඩියුල, සුවිශේෂී මොඩියුල දක්වා වැඩි දියුණු කිරීමට හැකියාව ලැබේ. Systems, Mathematics Programming, Database, Web, IoT, Algorithms, Deep Learning, Machine Learning, Machine Vision, Mathematics and Statistics, යනාදී වශයෙන් ප්‍රධාන ධාරාවන් යටතේ සිසුන්ට හැදෑරීම සඳහා මොඩියුල ගණනාවක් සැලසුම් කර තිබෙන අතර, Artificial Intelligence සහ Data Science මූලධර්ම මෙන්ම නවතම තාක්ෂණික ක්‍රමවේද  හා අනුගත වන පරිදි පාඨමාලා උසස්  කර තිබේ. ඒ හේතුවෙන් උපාධි පාඨමාලාව හදාරන අතරතුර මෙන්ම ඉන් පසුවද, සිසුන්ට නව්‍යෝත්පාදන සඳහා මග පාදමින් automation, analytics හා  AI, යනාදි විෂයන් අතින් ඔවුන් සන්නද්ධ කෙරේ. 

අනෙකුත් IIT උපාධි මෙන්ම, මෙම උපාධිය සඳහාද එය හදාරන කාලය ඇතුළත රැකියා ආශ්‍රිත මාස 12 ක පුහුණුවක් ලබා දෙන අතර එමගින් සිසුන්ට අමතර ප්‍රායෝගික කුසලතා හිමි වේ. එමෙන්ම රැකියා වෙළඳපොළේ තරගකාරීත්වයට මුහුණ දීමටද හැකි වේ. උපාධි වැඩසටහන මගින් Data/Enterprise Architect, Application Architect, Data Scientist, Machine Learning Scientist/Engineer, Data Analyst, Data Science Consultant, Business Intelligence Engineer, Big Data Engineer/Application Developer හා Software Engineer යන ක්ෂේත්‍ර රාශියක රැකියා අවස්ථා මෙමගින් උදා කර ගත හැකිය.

උපාධි වැඩසටහන හඳුන්වා දීමේ  ෆෝරමයට එක් ව සිටි පිරිස අමතමින් IIT ආයතනයේ පීඨාධිපතිනිය, නයෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය සඳහන්  කළේ මෙවැන්නකි.

Artificial Intelligence හ Data Science යන විෂයන් සඳහා බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳ ගනිමින් BSc (Hons) උපාධි වැඩසටහන හඳුන්වා දෙමින් IIT ආයතනය සුවිශේෂී  සන්ධිස්ථානයක්  සනිටුහන් කිරීමට සමත් වෙනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මෙම ක්ෂේත්‍රයේ පවතින ඉල්ලුම හා වෘත්තිකයින්ගේ අවශ්‍යතාවය මෙම උපාධිය දියත් කිරීමේ ප්‍රධාන අරමුණයි. මේ සමගින් IIT ආයතනයේ තොරතුරු හා සන් නිවේදන තාක්ෂණ උපාධි අපේක්ෂකයින් වෙත පිරි නමන ක්ෂේත්‍රයේ වඩාත් පිළිගත් උපාධි පාඨමාලා ප්‍රමාණය තවදුරටත් පුළුල් වෙනවා. IIT ආයතනය 2016 වසරේ සිට බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලය හා අත් වැල්  බැඳ ගනිමින් ක්ෂේත්‍රයේ  පිළි ගැනීමට පාත්‍ර වන MSc Big Data Analytics හා MSc Business Analytics උපාධි පාඨමාලාවන් පවත්වාගෙන යනවා. හඳුන්වා දෙන නවතම පාඨමාලාව මගින්, සාර්ථකව Artificial Intelligence හ  Data Science  සම්බන්ධ විශේෂඥභාවයට සිසුන්  පත් කරන ක්‍රමලේඛන, පද්ධති සහ AI හා Data Science ආදී විෂය ධාරා රැසක්  ආවරණය වන පරිදි ඉගැන්වීම් සිදු කෙරෙනවා. IIT ආයතනය ශ්‍රී ලංකාවේ  තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සමග පවත්වන ශක්තිමත් සබඳතාව හේතුවෙන් සිසු දක්ෂතා හඳුනා ගනිමින් ඔවුනට වෘත්තීය මාර්ගය සකස්  කර හැකි පරිදි එම ක්ෂේත්‍රයේ  ඉහළම පිළිගැනීමක් ඇති සුදුසුකම් සපුරා ගැනීමට මග සලසා දෙනවා.”

එක්සත් රාජධානියේ රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී ආචාර්ය ජෝන් අයිසැක්ස් මහතා සඳහන් කළේ  බ්‍රිතාන්‍යයේ  විශ්ව විද්‍යාල  ශ්‍රේණිගත කිරීමේදී රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලය (RGU),  රන්  ශ්‍රේණිගත කිරීම් හිමි කරගෙන ඇති විශ්ව විද්‍යාලයක්  බවයි. “එවැනි ශ්‍රේණිගත කිරීමක් ලබා ගෙන තිබෙන්නේ  සිසුනට ලබා දෙන කැපී පෙනෙන අධ්‍යාපන ගුණාත්මකභාවය හා අඛණ්ඩව ඉහළම ප්‍රතිඵල පෙන්වීම මගින්. එ නිසා උපාධි පාඨමාලාවන්  ඉගැන්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ හොඳම විශ්ව විද්‍යාල 20 අතරෙහි රැදී සිටීමට අපට හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම, බ්‍රිතාන්‍යයේ  සිදු කළ ජාතික සිසු සමීකෂණය (NSS)  මගින්, තෘප්තිමත්ම විශ්ව විද්‍යාල අතරින්  ස්කොට්ලන්තයේ හා බ්‍රිතාන්‍යයේ  දෙවැනි තැනටද තේරී තිබෙනවා”  

එහිදී මහාචාර්ය නිර්මලී විජේතුංග මහත්මියද අදහස් දැක්වූවාය.

රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලය හා අත් වැල් බැද ගනිමින් IIT ආයතනය, Artificial Intelligence හා  Data Science සඳහා BSc (hons) උපාධි පිරි නැමීම අපට ඉතාමත් සතුටට කාරණයක්. රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලය මගින් පාඨමාලාවේ ගුණාත්මකභාවය සහ උපාධියේ  පිළිගැනීම සහතික කෙරෙනවා. අද වන විට සෞඛ්‍ය සේවාව, ජීවන විද්‍යා, බල ශක්ති, මූල්‍ය සේවාවන්, වාහන, නිෂ්පාදන කටයුතු මෙන්ම විනෝදාස්වාද ආදි සියල්ලම සඳහා තොරතුරු  තාක්ෂණය වැදගත් වෙනවා. එමෙන්ම, Facebook, Google,හා  Microsoft වැනි තාක්ෂණික දැවැන්තයින්, අද වන විට බහුල වශයෙන්  ඉගැන්වීම් අවකාශ ලෝකයට පිරිනමමින් තිබෙන්නේ  ඒ  නිසයි.  මෙම උපාධි පාඨමාලාව  අපි සැලසුම් කර තිබෙන්නේ රැකියා අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙසයි. එමගින් කෘත්‍රිම බුද්ධිය (AI සහ Data Science) සම්බන්ධ තාක්ෂණය පිළිබඳ ප්‍රබල සංකල්පීය අවබෝධයක් ලබා දෙන නිසාම, රැකියා ලබා ගැනීමට මෙන්ම, නිරත වන වෘත්තීයෙන්  දියුණුවට පත්වීමට ඇති අවස්ථාවන් ද, පුළුල් කර ගත හැකියි. අද වන විට ස්මාර්ට් ජංගම උපාංගයන්හි පවතින self-driving cars, ස්මාර්ට්  නිවාස සංකල්පය හැබෑවක් කරමින් පුද්ගල සහය පිරිනමන IoT සංවේදක අවකාශ, ස්වයංකීය භාෂා පරිවර්තන  යෙදවම්  හා වීඩියෝ  අනු සිරස්තල සහයක යෙදවුම් ආදි සියල්ලම සඳහා AI හා Data Science භාවිත වෙනවා. මෙම උපාධිය මගින්, එම විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන්, පුළුල් අවබොධයක් ලබා දෙන බැවින් වෘත්තීය අවස්ථා බහුල වශයෙන් උදා කර ගැනීමට එය රුකුළක්  වෙවි.”

එහිදී WSO2 ආයතනයෙහි ව්‍යාපාර ඒකාබද්ධතා සාමාන්‍යාධිකාරී හා සභාපති, ෂෙවාන් ගුණතිලක මහතාද අදහස් දැක්විය. “AI තාක්ෂණයේ වැඩි දියණු කිරීම් මගින් අපිට, ගෝලීය වශයෙන් පවා සෑම ක්ෂේත්‍රයකම වෙනසක් සිදු කළ හැකි බව පැහැදිළි කාරණයක්. IIT මගින් Artificial Intelligence සහ Data Science යන විෂයන් සම්බන්ධයෙන් පිරි නමන මෙම උපාධි මගින් ශ්‍රී ලංකාවේ කර්මාන්තයන්හි වර්ධනය සඳහා මෙන්ම ගෝලීය මට්ටමින් අවශ්‍ය විශේෂඥ තාක්ෂණික දැනුම පිරිනැමිය හැකි අංකුර තාක්ෂණික වෘත්තිකයිනගේ දැනුම හා කුසලතා වර්ධනය කෙරෙනවා.” යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය උපාධි පිරිනමන ශ්‍රී ලංකාවේ මුල්ම පුද්ගලික උසස් අධ්‍යාපන ලෙසින් 1990 පිහිටුවනු ලැබිණි. එය බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ හා රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තරික උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පිරිනමන සම්මානිත අධ්‍යාපනික ආයතනයකි. ඉකුත් වසර ගණනාව තිස්සේම, ලොව පිළිගත් උපාධි පිරිනමමින් ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අංශයන් ශක්තිමත් කිරීම සඳහා ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), සුවිශාල දායකත්වයක් දක්වා තිබේ. 1990 වසරේ එහි ආරම්භයේ පටන් මේ දක්වා 3000 කට අධික උපාධිධාරීන් පිරිසක් ඉන් බිහි කර තිබේ. මෙම උපාධිධාරීහු දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ස්වයං ව්‍යවසායකයින් ලෙසින් මෙන්ම, තොරතුරු තාක්ෂණික හා ව්‍යාපාරික වෘත්තිකයින් ලෙසින්ද  සාර්ථකව සිටිති. ඔවුහු දේශීය හා විදේශීය සමාගම් 250 කට අධික ප්‍රමාණයක, ප්‍රධාන තනතුරු දරමින්, එම සමාගම්වල දියුණුව වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරති.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *