ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලධර්මවලට අනුකූලව සාධාරණ හා සියලු දීමනා ඇතුළත් වැටුප් නියම කිරීම සඳහා වන කැපවීම කලාපීය සංවාදයක් මගින් ශක්තිමත් කෙරේ
කොළඹ (ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පුවත්) — ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සංවිධානය කළ කලාපීය සංවාදයකට සහභාගී වූවන් ප්‍රකාශ කළේ, සියලු පාර්ශ්ව එකට එක්වී කරන සමාජ සංවාදය සහ සාක්ෂි මත පදනම් වූ වැටුප් ක්‍රමවේදයන් යොදා ගනිමින්, ජීවන වැටුප් යථාර්ථයක් බවට පත් කළ හැකි බව ආසියා පැසිෆික් කලාපයට පෙන්වා දිය හැකි බවයි.
‘ආසියා පැසිෆික් කලාපයේ ජීවන වැටුප් න්‍යාය පත්‍රය හැඩගැස්වීම‘ යන තේමාව පෙරදැරි කරගනිමින් සමාජ සාධාරණත්වය සඳහා වූ ගෝලීය සන්ධානය විසින් සංවිධානය කරන ලද කලාපීය සංවාදයක්, 2025 සැප්තැම්බර් 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා රටවල් 16ක නියෝජිතයන් සහභාගී වූ අතර, ඔවුන් ආසියා සහ පැසිෆික් කලාපයේ සියලුම කම්කරුවන් සඳහා සාධාරණ වැටුපක් හිමිවීම යථාර්ථයක් බවට පත් කිරීමේ ක්‍රම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළහ.
ආසියා සහ පැසිෆික් කලාපයේ සාමාන්‍ය වැටුප් වල ස්ථාවර වර්ධනයක් දක්නට තිබුණද, කාන්තාවන්, සංක්‍රමණිකයන් සහ අවිධිමත් රැකියාවල නියුතු මිලියන ගණනක් කම්කරුවන් අඩු වැටුප්, දුර්වල සේවා කොන්දේසි සහ ඉහළ යන ජීවන වියදම සමඟ අරගල කරන බව එම සංවාදයේ දී අසන්නට ලැබුණි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගිල්බට් එෆ්. හුන්ග්බෝ මෙම වැඩසටහනට යොමු කළ වීඩියෝ පණිවිඩයක් මගින් මෙසේ පැවසීය. “අපට අවශ්‍ය වන්නේ කම්කරුවන්ට ජීවත් වීමට පමණක් නොව, ගෞරවයෙන් දිවි ගෙවීමට ඉඩ සලසන සාධාරණ ජීවන වැටුපක්. ජීවන වැටුපකින් ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට, පහසුකම් සහිත නිවසක ජීවත් වීමට, දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීමට සහ අවශ්‍ය විටක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.”
මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ගරු කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් සමාරම්භක දේශනය පවත්වන ලදී.
සේවකයින්, සේවා යෝජකයින් සහ රජයන් අතර සාකච්ඡා පැවැත්වීම, සමානාත්මතාවය සහතික කිරීම, ව්‍යාපාරික හා ආර්ථික තත්වයන් සමඟ කම්කරුවන්ගේ අවශ්‍යතා සමතුලිත කිරීම, අඩු වැටුප් වලට හේතු වන මූලික කරුණු සොයා බැලීම හා ඒවාට විසඳුම් ලබාදීම සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයන් යොදා ගැනීම වැනි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජීවන වැටුප් මූලධර්ම, සේවකයින්ට ප්‍රමාණවත් වැටුප් හිමිවන බව සහතික කරන සාධාරණ, ස්ථාවර සහ ඵලදායී වැටුප් සැකසීමේ පද්ධති ගොඩනැගීම සඳහා අතිශය වැදගත් බව සහභාගිවූවන් මෙහිදී අවධාරණය කළහ.
තවද, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ, කම්කරුවන්ගේ ජීවන තත්වය සහ සමෘද්ධිය ඉහළ නංවාලන බව සහතික කිරීමට නම්, ජීවන වැටුප් හා සම්බන්ධ වැඩසටහන් සහ ජාතික වැටුප් ප්‍රතිපත්ති, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලධර්ම සමඟ පෙළගැස්වීම අත්‍යවශ්‍ය බව මෙම සාකච්ඡාවලින් ඉස්මතු කෙරිණි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සහ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ කඕරි නකමුරා-ඔසාකා මෙහිදී සිය අදහස් දක්වමින්, “කලාපයේ ඉතා විශාල ශ්‍රම බලකායක් සිටීමත්, ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමත් නිසා, ජීවන වැටුප් සිහිනයක් පමණක් නොව, සමාජ සංවාද මත පදනම් වූ නිසි ක්‍රමානුකූල ප්‍රවේශයක් ඔස්සේ සැබවින්ම සාක්ෂාත් කරගත හැකි දෙයක් බව පෙන්වීමට කලාපයට අවස්ථාව තිබේ.”යනුවෙන් ප්‍රකාශ කළේය.

අවම වැටුප් පිළිබඳ දත්ත එක් ස්ථානයකට ගොනු කිරීම සඳහා නිර්මාණය කරන ලද කලාපයේ පළමු වේදිකාව වන, අවම වැටුප් සඳහා වන ආසියා පැසිෆික් ඩිජිටල් දත්ත ගබඩාව ද මෙම අවස්ථාවේ හඳුන්වා දුනි . වැටුප් දත්ත පහසුවෙන් ලබා ගැනීමටත්, විනිවිදභාවයෙන් යුතුව කලාපය පුරා සාධාරණ හා ස්ථාවර වැටුප් ලබා දීමට සහය වීම සඳහාත් නිර්මාණය කර ඇති මෙම දත්ත ගබඩාව, සාමාජික රටවලට සාක්ෂි මත පදනම් වූ වැටුප් ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය දරන උත්සාහයන්ගෙන් තවත් එක් පියවරකි.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව, කලාපයේ විවිධ රටවල රජයේ නිලධාරීන්, සේවා යෝජකයින් සහ සේවක නියෝජිතයින්ට ජීවන වැටුප් ඇතුළුව පර්යේෂණ සහ කරුණු මත පදනම් වූ සාධාරණ වැටුප් ප්‍රතිපත්ති සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ දින තුනක තාක්ෂණික පාඨමාලාවක් ද පැවැත්වීමට නියමිතය.
මෙම සංවාදය, ජීවන වැටුප් සංකල්පය පිළිබඳව රජයන්, සේවායෝජකයන් සහ කම්කරුවන් අතර 2024 දී ඇති කර ගත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගිවිසුම සහ රටවල් වලට ජීවන වැටුප් තක්සේරු කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සහාය වීම කෙරෙහි අවධානය යොමු කරමින් 2025 දී දියත් කරන ලද පළමු ගෝලීය වැඩසටහන වටා ගොඩනැගුණි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව, ජීවන වැටුපක් මගින් කම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආහාර, නිවාස, සෞඛ්‍ය රැකවරණය, අධ්‍යාපනය සහ වෙනත් අත්‍යවශ්‍ය අවශ්‍යතා ආවරණය කරමින් යහපත් ජීවන තත්ත්වයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. එහෙත්, අවම වැටුප් යනු, අසාධාරණ අඩු වැටුප් ගෙවීම් වලින් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති නීත්‍යානුකූල වැටුප් සීමාවන් වන අතර, ඒවා උසස් ජීවන තත්වයක් ලබා නොදෙන හෝ කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන වැටුපකි. එබැවින් අවම වැටුප ජීවන වැටුපක් නොවේ.