උතුරු පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට සහයවන “GRIT Accelerator” හි පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගිය නොවැම්බර් 25 වන දින කොළඹ HatchWorks හිදී “Demo Day” නමින් වැඩසටහනක් පැවැත්විණි. උතුරු පළාතේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ආරම්භක ව්‍යාපාර (Startups) 07ක් මෙහිදී එළිදක්වනු ලැබුවේය. ඒ අනුව ආයෝජකයින්, ව්‍යාපාර පද්ධති ගොඩනඟන්නන් සහ වෙළඳපල සම්බන්ධතා ආධාරකරුවන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් හමුවේ ඔවුන්ගේ නිෂ්පාදන සහ ව්‍යාපාර එහිදී ප්‍රදර්ශනය කළහ.

මෙම වැඩසටහන උතුරු පළාතේ තිරසාර, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට ප්‍රතිචාර දක්වන ව්‍යවසායකත්ව පරිසර පද්ධතියක් ගොඩනැගීම සඳහා වූ වැදගත් පියවරකි. වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව, ආයෝජනය සහ පුහුණුව නමින් විධිමත් ලෙස හඳුන්වනු ලබන GRIT නම් මෙම ව්‍යාපෘතිය වසර 06ක Global Affairs Canada (GAC) සහ World University Service of Canada (WUSC) අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. එසේම එය Hatch සහ අනෙකුත් දේශීය හවුල්කරුවන් විසින් ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි. මෙමඟින් කාන්තා ව්‍යවසායිකාවන් අතර ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ ආර්ථික සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලබයි.

ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ ව්‍යාපාර ඔස්සේ, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඇති වෙළඳපල පරතරයන් ආමන්ත්‍රණය කරන කාන්තා ප්‍රමුඛ ව්‍යාපාරවල ඇති වැදගත්කම සහ බලපෑම පෙන්නුම් කරන ලදී. ව්‍යාපාරික කුසලතා , වෙළඳපල ප්‍රවේශය සහ විභව ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීම මඟින් Hatch විසින් මෙම වේදිකාව හරහා කාන්තාවන් සඳහා ව්‍යවසායකත්වය ප්‍රවේශයන් විවර කරදීමට කැප වී ඇත.

GRIT ව්‍යාපෘතියේ අරමුණු පිළිබඳව අදහස් දක්වමින් Hatch Innovation හි ප්‍රධාන විධායක නිලධාරී මෙවාන් පීරිස් මහතා මෙසේ පැවසීය. “සැබෑ ප්‍රජා අවශ්‍යතා තුළ නව්‍යකරණය කරන දක්ෂ හා අධිෂ්ඨානශීලී කාන්තා ව්‍යවසායිකාවන්ට සහය වීමෙන්, GRIT ව්‍යාපෘතිය වඩාත් වැදගත් වන අවස්ථා නිර්මාණය කිරීමට ඉදිරියේදීත් අපේක්ෂා කරනවා. ඓතිහාසිකව ප්‍රමාණවත් සේවාවක් නොලැබුණු උතුරු කලාපයේ දිගුකාලීන ආර්ථික වර්ධනයට ඔවුන්ට තිරසාර ලෙස දියුණු වීමට උපකාර කිරීම අපගේ ඉලක්කයයි. ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් කාන්තාවන්ට නායකත්වය ගැනීමට ඉඩ සලසමින් ඉහළ විභවයක් ඇති ව්‍යවසායකයින්ට සහය වීමට Hatch කැපවී ඉන්නවා.”

ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකාරිණී රුවනාරා තිලකරත්න මහත්මිය තවදුරටත් සඳහන් කළේ, “මෙම පළමු කණ්ඩායමේ සාර්ථකත්වය තුළින් පෙන්නුම් කරන්නේ කාන්තාවන්ට නිසි සම්පත් සහ උපදේශකයින් ලබා දුන් විට සිදුවිය හැකි දේයි. GRIT ව්‍යාපෘතිය තුලින්, ව්‍යාපාර පමණක් නොව දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව සහ කලාපීය ආර්ථික සංවර්ධනය ද මේ තුළින් වර්ධනය වෙනවා.” යනුවෙනි.

වැඩසටහනේ ඇති සුවිශේෂී ප්‍රතිලාභ විදහා දක්වමින්, Vonderly හි නිර්මාතෘ, කිරුෂන්ති ශෝබේතන් මහත්මිය ඇගේ අත්දැකීම ද මෙහිදී බෙදා ගත්තාය. “වැඩසටහන ආරම්භ වූයේ අපගේ සමාගමේ නිශ්චිත අවශ්‍යතා සහ යථාර්ථවාදී අරමුණු පිළිබඳ සම්පූර්ණ තක්සේරුවකින්. පසුව, කර්මාන්ත විශේෂඥයින් විසින් මුදල්, මානව සම්පත්, විකුණුම් සහ සන්නාමකරණය ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල සම්පත් සහ ප්‍රායෝගික මඟ පෙන්වීම් ලබා දුන්නා. අනතුරුව එකින් එක සිදු වූ තත්කාලීන ව්‍යාපාරික උදාහරණ සමඟින්, අත්දැකීම සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ ප්‍රායෝගික අවබෝධයක් ලබා දුන්නා.”

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව පද්ධතිය ශක්තිමත් කිරීමේ පොදු අරමුණක් ඇතිව, මෙම අවස්ථාවට සංවර්ධන අංශයේ වෘත්තිකයන්, ආයෝජකයින්, ආයතනික සමාජ සුබසාධන නායකයින්, Angel Networks, Incubators සහ Accelerators, රජයේ පාර්ශ්වකරුවන් සහ මාධ්‍ය හවුල්කරුවන් ද මෙයට සහභාගී විය.

Demo Day වැඩසටහන මඟින් කාන්තා ප්‍රමුඛ ආරම්භක ව්‍යාපාරවලට නිවැරදි සහයෝගය සහිතව සාර්ථකත්වය කරා ළඟා විය හැකි බව මෙහිදී පෙන්වා දෙනු ලැබුවේය. තවද, උතුරු පළාතේ සිටින කාන්තා ව්‍යවසායිකාවන් ඉදිරි වැඩසටහන් කණ්ඩායම් සඳහා සහභාගී කරවාගැනීමට ද දිරිමත් කරන ලදී. Hatch Innovation හි ව්‍යාපාර පුහුණු හා සේවාවන්, මූල්‍ය අවස්ථා, ගෝලීය නිරාවරණය, උපදේශනය බලාපොරොත්තු වන නව්‍ය අපේක්ෂකයින්ට සහාය වීමට නිරතුරුව විවෘතව පවතිනු ලබයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *