
පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය (FRED) අද දින මාධ්‍ය හමුවක් පවත්වමින්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු (feed-in tariffs) සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් මෑතකදී ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණ පිළිබඳව සිය දැඩි විරෝධය ප්‍රකාශ කළේය. මෙම තීරණ සමස්ත පුනර්ජනනීය බලශක්ති අංශය අස්ථාවර කිරීමටත්, ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ දැමීමටත්, ශ්‍රී ලංකාවේ පිරිසිදු බලශක්ති ඉලක්ක අනතුරේ හෙළීමටත් තර්ජනය කරන බව සම්මේලනය අනතුරු අඟවයි.
“ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතය සඳහා අප තීරණාත්මක සන්ධිස්ථානයක සිටිනවා,” පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය හි සභාපතිවරයා ප්‍රකාශ කළේය. “බලධාරීන්ගේ මෑතකාලීන ක්‍රියා මගින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ වසර ගණනාවක් පුරා ලබාගත් ප්‍රගතිය කඩාකප්පල් කිරීමටත්, අපගේ කර්මාන්තය දැඩි ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක සහිත අවිනිශ්චිත අනාගතයකට ඇද දැමීමටත් තැත් පවතිනවා.”
විදුලිය මිලදී ගැනීමේ මිල දැඩි ලෙස අඩු කිරීම කර්මාන්තයේ ස්ථාවරත්වයට හානි කරයි
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සංශෝධිත මිලදී ගැනීමේ ගාස්තු හඳුන්වා දෙන මෑතකාලීන කැබිනට් පත්‍රිකාව කර්මාන්තය පුරා කම්පනයක් ඇති කර තිබේ. සමහර මිල ගණන් 30% කට වඩා අඩු කර ඇති බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය දැඩි කනස්සල්ලෙන් යුතුව සටහන් කරයි. මෙම ඒකපාර්ශ්වික තීරණය පුළුල් සැකයක් ඇති කර ඇති අතර, රැකියා අහිමි වීමේ බිය දැනටමත් ඇතිවී තිබේ. ආයෝජකයින්ගේ විශ්වාසය දැඩි ලෙස හීන කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ජාලයට සම්බන්ධ සූර්ය බලශක්ති අංශයේ අනාගත ශක්‍යතාව පිළිබඳව දැඩි අඳුරු සෙවනැල්ලක් පතුරවා ඇත.
විදුලිය මිලදී ගැනීමේ මිල නියම කිරීම: දෝෂ සහිත සහ විද්‍යාත්මක නොවන ප්‍රවේශයක්
මිලදී ගැනීමේ ගාස්තු විවිධ ආර්ථික හා මෙහෙයුම් පරාමිතීන් සැලකිල්ලට ගනිමින් දැඩි විද්‍යාත්මක ක්‍රියාවලියක් හරහා තීරණය වන බව හොඳින් ස්ථාපිත කරුණකි. මේවාට විනිමය අනුපාත, උද්ධමනය, පොලී අනුපාත සහ බලාගාර කාර්ය සාධන සාධක (Plant Load Factor ) ඇතුළත් වේ.
2024 ජූනි මාසයේ අවසන් විදුලිය මිලදී ගැනීමේ මිල නියම කිරීම සහ 2025 ජූනි මාසයේ වත්මන් සංශෝධනය අතර මෙම තීරණාත්මක ආදාන පරාමිතීන්හි (Inut Paramters) වෙනස්වීම් සංසන්දනය කිරීමේදී, විෂමතා පැහැදිලිව පෙනේ. අපගේ විශ්ලේෂණයෙන් පෙනී යන්නේ විනිමය අනුපාතයේ විචලනය 5% ට වඩා අඩු බවත්, ණය පොලී අනුපාත විචලනය 10% ට වඩා අඩු බවත්, ගෝලීය සූර්ය මොඩියුල මිල ද 10% පරාසය තුළ උච්චාවචනයන් පෙන්නුම් කර ඇති බවත්ය. මූලික ආර්ථික දර්ශකවල මෙම සුළු වෙනස්වීම් සැලකිල්ලට ගත් විට, 30% ඉක්මවන මිල අඩු කිරීමක් විද්‍යාත්මකව සාධාරණීකරණය කළ නොහැකි අතර ආර්ථික වශයෙන් තර්කානුකූල නොවේ. එබැවින්, මෙම මිල සංශෝධනය පිටුපස ඇති සංඛ්‍යා කෘත්‍රිමව හසුරුවා ඇති බවත්, සූර්ය විදුලි බල අංශයේ ආයෝජන හිතාමතාම අධෛර්යමත් කිරීමට අදහස් කරන බවත් අපට නිගමනය කිරීමට සිදුවේ.
නව ආයෝජන ඇනහිටීම: කර්මාන්ත බිඳ වැටීමකට මග පෑදීම
මිලදී ගැනීමේ ගාස්තු දැඩි ලෙස අඩු කිරීම නව ආයෝජන සඳහා සෘජු අහිතකර බලපෑමකි. ව්‍යාපෘති වල ශක්‍යතාව, මෙම අත්තනෝමතික ප්‍රතිපත්ති වෙනස් කිරීම් නිසා නිරන්තරයෙන් තර්ජනයට ලක්වන බැවින් දේශීය හා විදේශීය ආයෝජකයින් මෙම අංශයේ ආයෝජනය කිරීමට අනාගතයේදී අනිවාර්යයෙන්ම මැලිකමක් දක්වනු ඇත. .එය, සූර්ය විදුලි බල කර්මාන්තය ආපසු හැරවිය නොහැකි පරිහානියකට පත් කරනු ඇත, අවසානයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතභාවය සහ පාරිසරික තිරසාරභාවය සඳහා අත්‍යවශ්‍ය අංශයක් අදූරදර්ශී රාජ්‍ය ප්‍රතිපත්ති නිසා කඩා වැටෙනු ඇත.
ටෙන්ඩර් සහ ස්ථාවර මිලකට විදුලිය මිලදී ගැනීම (Feed In Tariff) සම්බන්ධව සන්සන්ධනය කිරීම
ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම ) පසුගිය අසාර්ථකත්වය නොතකා, නව විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් පදනම් කරගත් ප්‍රවේශයක් දිගින් දිගටම අනුගමනය කරයි. පසුගිය වසර අට තුළ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වූ ලංවිම ටෙන්ඩර් සියල්ල සිය ඉලක්ක සපුරා ගැනීමට අසමත් වී ඇත.
ඊට හාත්පසින්ම වෙනස්ව, ස්ථාවර මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමයක් (Feed In Tariff) යටතේ දියුණු වූ පියස මත ඉදිකරන සූර්ය විදුලි බල කර්මාන්තයේ සාර්ථකත්වය ගැන අප අවධාරණය කරමු. 2025 වන විට දළ වශයෙන් මෙගා වොට් 1700 ක සමස්ත ධාරිතාවකින් යුත් පියස මත ඉදිකරන සූර්ය විදුලි බල කර්මාන්තය පැහැදිලි, ස්ථාවර විදුලි මිලදී ගැනුම් මිල (Feed In Tariff.) මගින් දිරිගන්වන ලද නිදහස් වෙළඳපල මගින් මෙහෙයවනු ලැබූ කර්මාන්තයක අතිවිශාල සාර්ථකත්වය පෙන්නුම් කර ඇත. අනෙක් අතට, ටෙන්ඩර් මත ප්රාථමිකව රඳා පැවති පොලොව මත ඉදිවන සූර්ය ව්‍යාපෘති, පසුගිය දශකය තුලම ලබා ගෙන ඇත්තේ ධාරිතාව මෙගා වොට් 200 ක් සුළු වර්ධනයක් පමණි. එය පියස මත ඉදිකරන සූර්ය විදුලි බල කර්මාන්තයේ වර්ධනයට සාපේක්ෂව 11% ක් පමණි. මෙම පැහැදිලි සංසන්දනය මගින් පුනර්ජනනීය බලශක්තිය වේගවත් හා සැලකිය යුතු ලෙස සංවර්ධනය කිරීම සඳහා ස්ථාවර මිලදී ගැනීමේ ගාස්තු (Feed In Tariff.) වඩාත් ඵලදායී යාන්ත්‍රණය බව අවිවාදිත ලෙස ඔප්පු කරයි.
බලශක්ති ගබඩා පද්ධති ජාතික ජාලය සමඟ ඒකාබද්ධ කිරීමට ලංවීමට තවමත් ඇති නොහැකියාව සූර්ය බලශක්ති ක්ෂේත්රයේ වර්ධනයට තර්ජනය කරයි
අපගේ දැඩි මතය වන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නියමිත වේලාවට බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ජාතික විදුලිබල පද්ධතියට හඳුන්වා දීමට නොහැකිවීම හේතුවෙන් සූර්ය විදුලි බල අංශයේ සෘණාත්මක වර්ධනයක් නොදැනුවත්වම ඇති කර ඇති බවයි. මාස හයකට වැඩි කාලයක් තිස්සේ, අප සම්මේලනය විසින් විවිධ සංසදවලදී අවම වශයෙන් මෙගා වොට් පැය 1000 ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ධාරිතාවක් කඩිනමින් ජාතික පද්ධතිය වෙත ඒකාබද්ධ කරන ලෙස නිරන්තරයෙන් ඉල්ලා සිට ඇත. එම ක්‍රියාදාමය තුල උදෑසන 10 සිට පස්වරු 2 දක්වා කාලය තුළ උපරිම සූර්ය උත්පාදනය ගබඩා කිරීමටත්, සන්ධ්‍යා කාලයේ ඉහළ ඉල්ලුම් පැය තුළදී ඒවා භාවිතා කිරීමටත්, එමගින් ජාල ස්ථායිතාව වැඩි දියුණු කිරීමටත්, පුනර්ජනනීය බලශක්ති උපයෝගීතාව උපරිම කිරීමටත් හැකි වනු ඇත.
අපගේ අඛණ්ඩ ඉල්ලීම්, ලංවිම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානයට ලක් නොවීය.බැටරි බලශක්ති ගබඩා පද්ධති සඳහා මිලදී ගැනීමේ ගාස්තු පිළිබඳ මෙම සතියේ නිවේදනයක් නිකුත් කර ඇතත්, පැහැදිලි මෙහෙයුම් මාර්ගෝපදේශ නොමැතිකම හේතුවෙන් එය කර්මාන්තය තුළ තවදුරටත් ව්‍යාකූලත්වයක් පමණක් ඇති කර තිබේ. එපමණක් නොව, බැටරි බලශක්ති ගබඩා පද්ධති ආනයනයේදී 50% කට ආසන්නව පවතින නොයෙකුත් බදු සියල්ල ගැසට් පත්‍රයක් මාර්ගයෙන් අවලංගු කර 100% තීරු බදු සහන යටතේ ආනයනය කිරීමට ඉඩ දිය යුතු බව අප අවධාරණය කරමු. බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘති මූල්‍යමය වශයෙන් ශක්‍ය කිරීමට නම්, මෙම බදු බර සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය.
පියස මත ඉදිකරන සූර්ය විදුලි බල ව්‍යාපෘති සහ පොලොව මත ඉදිවන සූර්ය විදුලි බල ව්‍යාපෘති ඇතුළුව, දැනට පවතින සියලුම සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු අදාළ කරන ලෙස අපි මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු. එපමණක් නොව, බැටරි බලශක්ති ගබඩා පද්ධති සංවර්ධකයින්ට අවශ්‍ය නම් අමතර සූර්ය ධාරිතාවක් ස්ථාපනය කිරීමට පැහැදිලිවම අවසර දිය යුතුය, ඔවුන් තම දිවා කාලයේ බලශක්ති අපනයනය කොන්ත්‍රාත් ධාරිතාවට වඩා අඩු මට්ටමක පවත්වා ගන්නේ නම්, එමගින් මෙම ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කරනු ඇත.
ලංවීම මඟින් එක පාර්ශිකව සිදුකරන ඉරිදා සහ නිවාඩු දිනයන්හි විදුලිය මිලදී ගැනීම නැවත්වීම
2025 පෙබරවාරි 09 වැනි දා සිට අපගේ බලාගාරවල බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම උල්ලංඝනය කරමින් ලංවිම විසින් ඒකපාර්ශ්විකව සිදුකරන විදුලිය කප්පාදු කිරීමේ තීරණය පිළිබඳව අපගේ සංගමය දැඩි කනස්සල්ල පළකර සිටිමු. නිවාඩු දිනවල අඩු ඉල්ලුම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාවය තහවුරු කිරීම සඳහා මෙම පූර්ව ආරක්ෂක පියවර ගත් බව අප තේරුම් ගත්තද, මෙම ක්‍රියාදාමය නිසා අතිමහත් මූල්‍ය දුෂ්කරතා වලට මුහුණ පෑමට අප සාමාජිකයන් හට සිදුව ඇත.
නිදසුනක් වශයෙන්, 2025 පෙබරවාරි 09 වැනි දා සිට මේ දක්වා, ඉරිදා දින 19ක සහ ජාතික නිවාඩු දින 10ක (අලුත් අවුරුදු සමය ද ඇතුළුව) අපගේ බලාගාර කප්පාදු කර ඇත. මේ හේතුවෙන් සමස්ත කර්මාන්තයටම සහ රටට විදුලි ඒකක මිලියන 15ක දළ බලශක්ති අහිමිවීමක් සහ එක් එක් ව්‍යාපෘති සංවර්ධකයාට සැලකිය යුතු ආදායම් අහිමිවීමක් සිදුවී ඇත. මෙම අතිවිශාල අලාභය හේතුවෙන් ණය වගකීම් සපුරාලීමට, කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට සහ අත්‍යවශ්‍ය නඩත්තු සේවා සැපයීමට අපට නොහැකි වී ඇත.
මෙම ව්‍යාපෘතිවලින් 75%කට වැඩි ප්‍රමාණයක් මෑත කාලීන ආර්ථික අර්බුදය, අධි උද්ධමනය, අධික පොලී අනුපාත සහ ලංවිමෙන් සිදුවන ප්‍රමාද වූ ගෙවීම් හේතුවෙන් ඉතා සුළු ලාභයක් හෝ ශුද්ධ පාඩුවක් ලබමින් පවතී. මෙම කාලය තුළ විශාල ලෙස ණය පොලී ප්‍රාග්ධනීකරණය හේතුවෙන්, මෙම ව්‍යාපෘති බොහොමයක් ප්‍රවර්තන ව්‍යාපාර Going Concern) ලෙස ඉදිරියට පවත්වාගැනීමේ ගැටලුවලට මුහුණ දී සිටී. මෙම තීරණාත්මක කරුණු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට මෙන්ම මුදල් අමාත්‍යාංශයටද කිහිප වතාවක්ම අප විසින් විධිමත් ලෙස දැනුම් දී ඇත.
මෙම මූල්‍ය දුෂ්කරතා දැනටමත් විඳ දරාගෙන සිටින සංවර්ධකයින්ට, තවදුරටත් කඩින් කඩ සිදුවන විදුලිය මිලදී ගැනීම නැවත්වීම සහ ඊට සමානුපාතික ලෙස ආදායම් අහිමිවීම් දරා ගැනීමට තරම් ශක්තිමත් තත්ත්වයක නොසිටී. එහි නොවැළැක්විය හැකි ප්රතිවිපාකය වනුයේ, අත්‍යවශ්‍ය දෛනික නඩත්තු වියදම්, ණය දෙන ආයතනවලට ණය සේවා වගකීම්, කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම් සහ අනෙකුත් තීරණාත්මක නියාමන හා ව්‍යවස්ථාපිත ගෙවීම් සපුරාලීමට නොහැකි වීමයි.
ලංවීම මඟින් එක පාර්ශිකව සිදුකරන ඉරිදා සහ නිවාඩු දිනයන්හි විදුලිය මිලදී ගැනීම නැවත්වීම නිසා අප සාමාජිකයන් හට සිදුවන අලාභය පියවීම සඳහා විනිවිදභාවයකින් යුත්, දෙපාර්ශවයටම පිළිගත හැකි වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස ලංවිම වෙත උපදෙස් දෙන ලෙස අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මේ සම්බන්ධයෙන්, ලංවිම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන්ගෙන් සමන්විත, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සභාපතිත්වය දරන සමබර කමිටුවක් පත් කරන ලෙස අපි තරයේ නිර්දේශ කරමු.
අද දිනපවතී මාධ්‍ය සාකච්චාව තුල පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය විසින් සමස්තයක් ලෙස ඉල්ලා සිටිනු ලබන්නේ
කෘත්‍රිමව පහත හෙලන ලද මිලදී ගැනීමේ ගාස්තු වහාම සමාලෝචනය කර ආපසු හැරවීමට සහ විනිවිදභාවයෙන් යුත්, විද්‍යාත්මකව සාධාරණීකරණය කරන ලද නව මිල ක්‍රමයක් නැවත ස්ථාපිත කිරීමට.
ජාතික විදුලිබල පද්ධතියට බැටරි බලශක්ති ගබඩා පද්ධති ඒකාබද්ධ කිරීම කඩිනම් කිරීමට සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති ආනයන සඳහා වන තීරුබදු සහ බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීම ඇතුළුව පැහැදිලි මාර්ගෝපදේශ සහ උපකාරක ප්‍රතිපත්ති රාමුවක් නොපමාව අවසන් කිරීම
පවතින විදුලි මිලදී ගැනීමේ ගිවිසුම්වලට ගරු කිරීම සහ පුනර්ජනනීය විදුලි බලාගාර වලින් නිපදවෙන විදුලිය ඒකපාර්ශ්විකව කප්පාදු කිරීම් සියල්ල නතර කිරීමට සහ අතීත කප්පාදු කිරීම් සඳහා සාධාරණ වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සැකසීම.
අකාර්යක්ෂම ටෙන්ඩර් ක්‍රියාවලීන්ට වඩා ඔප්පු කළ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති ස්ථාවර විදුලි මිලදී ගැනීමේ මිල අනාගත පුනර්ජනනීය බලශක්ති ප්‍රසම්පාදනය සඳහා ප්‍රාථමික යාන්ත්‍රණය ලෙස යොදා ගැනීමට බල කිරීම.
පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය, ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමටත්, සියලු පුරවැසියන් සඳහා තිරසාර, දැරිය හැකි සහ සුරක්ෂිත බලශක්ති අනාගතයක් සහතික කිරීමටත් රජය සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට කැපවී සිටී. කෙසේ වෙතත්, මෙය සාක්ෂාත් කරගත හැක්කේ වර්ධනය හා ආයෝජන මර්ධනය කරනවාට වඩා දිරිමත් කරන සාධාරණ, ප්‍රතිපත්ති රාමු හරහා පමණි.
උපුටා ගැනීම: අද දෙරණ