
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන First Capital සමූහය, 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා රුපියල් බිලියන 5.0ක මුළු විස්තීර්ණ ආදායමක්, පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 10.1ට සාපේක්ෂව වාර්තා කිරීමට සමත් විය. පොලී අනුපාත සැලකිය යුතු ලෙස අඩු වීම, පශ්චාත් දේශීය ණය ප්‍රශස්තකරණය සහ ප්‍රතිපත්තිමය පොලී අනුපාතවල අඩු වීම පසුගිය මූල්‍ය වර්ෂයේ දී අත්කර ගත් ඉහළ ලාභයට හේතු විය. සමාලෝචිත මූල්‍ය වර්ෂයේ අවසාන භාගයේදී, පොලී අනුපාත මධ්‍යස්ථ වශයෙන් පහත වැටීමක් දක්නට ලැබුණු අතර, අදාළ කාල සීමාව වන විට රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර වීමත් සමඟ ණය සුරැකුම්පත් හා කොටස් සුරැකුම්පත් සඳහා හිතකර වෙළෙඳපොළ තත්ත්වයක් නිර්මාණය විය. ඒ අනුව, සමූහයේ ප්‍රාථමික අලෙවිකරණ අංශය, ආයතනික ගනුදෙනු සුරැකුම්පත් සහ උපදේශන අංශය මෙම සමස්ත ආදායමට සැලකිය යුතු ලෙස දායක විය.
සමූහයේ ප්‍රාථමික අලෙවිකරණ අංශය වන First Capital Treasuries PLC සමාගම, 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා රුපියල් බිලියන 3.0ක බදු පසු ලාභයක් (2023/24 – රු. බිලියන 11.1ක බදු පසු ලාභයක්) වාර්තා කළ අතර, ඊට රජයේ සුරැකුම්පත් කළඹ හරහා ලබාගත් රුපියල් බිලියන 3.1ක විකුණුම් ලාභයක් සහ රුපියල් බිලියන 1.6ක ශුද්ධ පොලී ආදායමක් (2023/24 – රු. බිලියන 15.8ක විකුණුම් ලාභයක් සහ රුපියල් බිලියන 3.2ක ශුද්ධ පොලී ආදායමක්) ඇතුළත් වේ.
සමාලෝචිත වර්ෂය සඳහා ආයතනික ගනුදෙනු සුරැකුම්පත් සහ උපදේශන අංශය හරහා රුපියල් බිලියන 2.2ක බදු පසු ලාභයක් (2023/24 – රු. මිලියන 215ක බදු පසු ලාභයක්) වාර්තා විය. 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආයෝජන කළමනාකරණ අංශය රුපියල් මිලියන 106ක බදු පසු ලාභයක් (2023/24 – රු. මිලියන 6ක බදු පසු ලාභයක්) වාර්තා කළ අතර, 2025 මාර්තු 31 වන විට අදාළ අංශයේ කළමනාකරණය යටතේ ඇති වත්කම් රුපියල් බිලියන 112ක් (2024 මාර්තු 31 – රු. බිලියන 94) ලෙස වාර්තා විය. ඊට අමතරව අදාළ කාල සීමාව තුළ කොටස් තැරැව්කාර අංශය හරහා වාර්තා වූ බදු පසු ලාභය රුපියල් මිලියන 70ක් (2023/24 – රු. මිලියන 8ක බදු පසු ලාභයක්) වේ. 2025 මාර්තු මාසයේ දී First Capital Holdings PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2024/25 වර්ෂය සඳහා රුපියල් බිලියන 3ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කෙරිණි.
First Capital සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර මහතා පැවසුවේ, “අපි වෙළෙඳපොළ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වනවා වගේම වෙළෙඳපොළ හැඩගැස්වීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා. අවසන් වූ වසරේ වර්ධනය මගින් නිවැරදි නායකත්වය, සාර්ථක අනුවර්තනය වීම සහ විශ්වසනීය කාර්යඵල වෙනුවෙන් අපගේ කැපවීමට උදාහරණ සපයනවා. අපගේ උපදේශන, ආයෝජන කළමනාකරණ හා තැරැව්කාර සේවාවල ශක්තිමත් දායකත්වය සමඟින්, රජයේ සුරැකුම්පත් ආශ්‍රිතව First Capital Treasuries PLC සමාගම හිමිකර ගෙන ඇති ආධිපත්‍යය අපගේ ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයේ ශක්තියට හා සාර්ථකත්වයට හොඳම සාක්ෂියක්. අඛණ්ඩ වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ කොටස්කරුවන් වෙනුවෙන් ස්ථාවර වටිනාකම් නිර්මාණය කිරීම කෙරෙහි අපි නිරන්තර අවධානය යොමු කරන බව මම මේ අවස්ථාවේදී අවධාරණය කිරීමට කැමතියි.”
2024 වසරේදී First Capital සමාගම, කීර්තිමත් සම්මාන කිහිපයක් දිනා ගනිමින් මෙරට මූල්‍ය සේවා අංශයේ සිය නායකත්වය තහවුරු කරගැනීමට සමත්වූ අතර, 2024 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී, First Capital Holdings PLC ‘වසරේ සන්නාමය’ට හිමි සම්මානය දිනාගැනීමට සමත් වූ අතර, එම සම්මාන උළෙලේදීම එම සමාගම ‘වසරේ සේවා සන්නාමය’ ට හිමි සමානය ඇතුළු අතිරේක සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව Business Today සඟරාව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ශ්‍රේණිගත කිරීමට සමගාමීව 2023/24 වසර සඳහා අදාළ ශ්‍රේණිගත කිරීමෙහි TOP 40 ලැයිස්තුවේ පිළිවෙලින් 20 වන සහ 21 වන ස්ථාන හිමිකර ගැනීමට First Capital Holdings PLC සහ First Capital Treasuries PLC යන සමාගම් ද්විත්වය සමත්වූ අතර, එය 2024/25 වසරේ සමාගමේ සුවිශේෂී වර්ධනය සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයට එම සමූහය ලබා දුන් සුවිශේෂී දායකත්වයට සාක්ෂි සපයයි.
මීට අමතරව, CA Sri Lanka විසින් සංවිධානය කරන ලද 2024 TAGS සම්මාන උළෙලේදී, First Capital Holdings PLC, First Capital Treasuries PLCසහ First Capital Money Market Fund (unit trust) යන ආයතන ත්‍රිත්වය රන් සම්මාන දෙකක් ඇතුළුව සමස්ත සම්මාන පහක් දිනා ගැනීමට සමත්වූ අතර, CMA Excellence in Integrated Reporting Awards 2024 හිදීද සමාගම ඇගයීමට ලක්වීම විශේෂිතය. ඊට අමතරව First Capital සමාගම, බ්‍රිතාන්‍ය පරිගණක සංගමය හා සබැඳි ශ්‍රී ලංකා වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය (BCSSL) විසින් සංවිධානය කරන ලද ජාතික ICT සම්මාන 2024 උළෙලේදී WhatsApp හරහා ඒකක භාරයන්හි ගනුදෙනු සක්‍රීය කරන First Capital Invest WhatsApp Channel (ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණික හඳුන්වා දීම), අභ්‍යන්තර නිමැවුම් කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමද සඳහන් කළ යුතුම ජයග්‍රහණයකි. එමෙන්ම First Capital සමාගමේ විශිෂ්ටත්වය තහවුරු කරමින් සතුටුදායක ලෙස වෘත්තියේ යෙදීමට සුදුසුම ආයතනයක් ලෙස ‘Great Place to Work’ සම්මානය අඛණ්ඩව වසර තුනක් දිනා ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි.

First Capital සමාගම පිළිබඳව:
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමාගම, ප්‍රාථමික අලෙවිකරුවෙකු, ආයතනික මූල්‍ය උපදේශකයෙකු, ආයෝජන කළමනාකරුවෙකු සහ කොටස් තැරැව්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වේ. ජනශක්ති සමූහයට අනුබද්ධිත එම සමාගම, ‘කාර්යසාධනය ප්‍රථමයෙන්’ යන තේමාවට අනුකූලව ක්‍රියාත්මක වෙමින් ස්ථාවර, තරඟකාරී මෙන්ම පාරිභෝගික තෘප්තිමත්භාවයෙන් සපිරි සේවාවක් ලබාදීමට නිරන්තරයෙන් කැපවෙයි. කීර්තිමත් Brand Finance ආයතනය විසින් ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ වටිනාම පාරිභෝගික සන්නාමය ලෙස අඛණ්ඩව වසර 2ක් නම් කරනු ලැබූ First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහිදී ‘වසරේ සන්නාමය’ ට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. ප්‍රාග්ධන වෙළෙඳපොළ ආශ්‍රිතව විසඳුම් සැපයීම පිළිබඳව දශක 4කට අධික පළපුරුද්දක් සහිත First Capital සමාගම, Lanka Rating Agency වෙතින් [SL] A+ ශ්‍රේණිගත කිරීම ලබා ඇත.