සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනය එක්ව ව්‍යාජ වාහන අමතර කොටස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනියි.

දකුණු ආසියාවේ ප්‍රමුඛතම වාහන වෙළඳ සංගමයක් වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් නීතිය පිළිබඳ විශේෂඥතාවක් ඇති ශ්‍රී ලංකාවේ කීර්තිමත් නීති සමාගමක් වන සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනය විසින් පසුගිය දා CMTA සාමාජිකයින් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්විය. මෙම වැඩසටහන මඟින් මූලික වශයෙන් අවධානය යොමු කරන ලද්දේ ඉහළ යන ව්‍යාජ වාහන අමතර කොටස් වෙළඳපොලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවයි.

මෙම සැසියේදී, සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනය විසින් CMTA සාමාජිකයින්ට ව්‍යාජ අමතර කොටස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ විශ්ලේෂණයක් ලබා දෙන ලදී. පාරිභෝගිකයින් සහ ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ක්ෂේත්‍ර පාර්ශවකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අතර හොඳ සහයෝගීතාවයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කරන ලදී.

ව්‍යාජ කොටස් හඳුනා ගැනීමට අපහසු වන්නේ ඒවා ව්‍යාජ නොවන බව පෙනීම සඳහා අනුකරණය කරන ලද ලාංඡන සහ ඇසුරුම් භාවිතා කරන බැවිනි. මෙය විශේෂයෙන්ම වාහන, ට්‍රක් රථ සහ යතුරුපැදි සඳහා යොදා ගන්නා තිරිංග පෑඩ් වැනි ආරක්‍ෂිත කොටස් සඳහා ඉතාම තීරණාත්මක වේ. බොහෝ විට, මෙම ව්‍යාජ කොටස් අවශ්‍ය ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලීමට අසමත් වන අතර එමඟින් පාරිභෝගිකයින් සහ මාර්ග භාවිතා කරන්නන් අනතුරට පත් වීමේ අවදානමකට ලක් කරයි.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයෙහි සභාපතිවරයා වන විරාන් ද සොයිසා මහතා, “Toyota සහ Honda සමාගම් විසින් නීති විරෝධී ලෙස අමතර කොටස් අලෙවියට එරෙහිව මෑතකාලීනව ගත් ක්‍රියාමාර්ග පිළිබඳව දැනගත් පසු අප සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ආරම්භ කළා. මෙම නීතිවිරෝධී කොටස් විකිණීම අවම කිරීමට සහ පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අප සහයෝගයෙන් කටයුතු කිරීම සහ අනුගමනය කළ හැකි නීතිමය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීම අත්‍යවශ්‍ය වෙනවා. ” යනුවෙන් අදහස් දැක්විය.

සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි නිර්මාතෘ සහ කළමණාකාර හවුල්කරු සුදත් පෙරේරා මහතා, “ව්‍යාජ භාණ්ඩ අලෙවිය සිල්ලර, ඖෂධ, ක්‍රීඩා භාණ්ඩ, මෝටර් රථ ඇතුළු සෑම අංශයකම මහා පරිමාණයෙන් පවතින ගැටලුවක් බවට පත්ව තිබෙනවා. මෙම නීති විරෝධී භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම අත්‍යවශ්‍යයි. මෝටර් රථ කර්මාන්තය සම්බන්ධයෙන් සලකා බැලුවිට, CMTA සාමාජිකයන් හා එක්ව මෙලෙස කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව අප සතුටු වනවා.” යනුවෙන් සඳහන් කළේය.

ආර්ථික දෘෂ්ටිකෝණයකින් විමසන විට, ව්‍යාජ අමතර කොටස්වල නීතිවිරෝධී වෙළඳාම නිසා ඉතා වටිනා විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි. මෙම කොටස් නීතිවිරෝධී ලෙස රට තුළට ගෙන එනු ලබන අතර, නිසි රේගු ක්‍රියාවලීන් මග හරිනු ලබන නිසා, ඒවායේ සැබෑ වටිනාකම වෙනුවට බර මත බදු අයකරයි. මෙමඟින් රජයට ලැබිය යුතු බදු ආදායමෙන් විශාල ප්‍රමාණයක් අහිමි වීම සිදු වෙයි. මෙම ගැටලුව ජාතික ප්‍රමුඛතාවක් වශයෙන් සලකා කටයුතු කිරීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් පිළිගත් මෝටර් රථ වෙළඳනාම 30 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන CMTA, මෙම ගැටලුව හොඳින්  නිරීක්ෂණය කර ඇති අතර, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ව්‍යාජ නොවන, උසස් තත්ත්වයේ කොටස් මිලදී ගැනීම සඳහා ඇති අවස්ථාව සහතික කිරීමට කැපවී සිටියි. එමෙන්ම මෙම නීතීන් උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම දැනටමත් ආරම්භ කර ඇත.

Honda සහ Toyota සමාගම් විසින්, ව්‍යාජ කොටස් අලෙවි කරන වෙළඳසැල් වැටලීම් සිදු කිරීමෙන් ව්‍යාජ කොටස් වෙළදාම අවම කිරීමට මෑතකදී උත්සාහ කරන ලදී. මෙම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස ව්‍යාජ භාණ්ඩ හඳුනාගෙන  ගෙන විනාශ කර ඇති අතර කඩ හිමියන් කිහිප දෙනෙකුටම එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. නිෂ්පාදකයින් සහ බලධාරීන් යන පාර්ශව  දෙකම පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට සහ ව්‍යාජ නොවන, ප්‍රමිති සහගත නිෂ්පාදන අඛණ්ඩව සැපයීමට කැපවී සිටින අතර, මෙය නීති විරෝධී අමතර කොටස් වෙළදාමේ නිරතවන්නන්ට ඔවුන් විසින් සිදු කරන අනතුරු ඇඟවීමකි.

ව්‍යාජ කොටස් විකිණීමට එරෙහිව සිදු කරන මෙම සටනේදී, සියලුම පාරිභෝගිකයන්ට,  සියලුම අමතර කොටස් බලයලත් බෙදාහරින්නන්ගෙන් පමණක් මිලදී ගන්නා ලෙසට CMTA  දිරි ගන්වයි. අනතුරුදායක සහ හානිකර නිෂ්පාදනවලින් වෙළඳපොල ආරක්ෂා කිරීම සඳහා මෙම සහයෝගී උත්සාහය අත්‍යවශ්‍ය වේ.

Photo Caption: සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයෙහි සභාපති, විරාන් ද සොයිසා මහතා සහ  සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි නිර්මාතෘ සහ කළමනාකාර හවුල්කරු සුදත් පෙරේරා මහතා.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *