පැල්වත්ත කිරි සමාගම අවදානම් සහිත කාලයන්හිදී සේවක සෞඛ්‍ය සහ යහපැවැත්ම තව දුරටත් ඉහළ නංවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ  සිය කාර්ය මණ්ඩලයේ, පාරිභෝගිකයින්ගේ, කිරි ගොවීන්ගේ සහ අනෙකුත් හවුල්කරුවන්ගේ යහපැවැත්ම සහ ආරක්‍ෂාව සහතික කිරීම උදෙසා සුවිශේෂී පියවර ගණනාවක් ගෙන ඇත. එහිදී සියලුම සේවකයින්ට අවම වශයෙන් පළමු එන්නත් මාත්‍රාව ලබා දීමට කටයුතු කර ඇති අතර සෑම ආකාරයකින්ම සෞඛ්‍ය රෙගුලාසි හා මාර්ගෝපදේශයන් පිළිපැදීම ද සිදු කෙරේ. විශේෂයෙන්ම සතිපතා අහඹු ක්ෂණික ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරෙන අතර එය රැකියා සුරක්ෂිතාවය ඉහළ නංවමින් සේවකයින්ට සැනසිලිදායක ලෙස වැඩ කිරීමේ පරිසරයක් නිර්මාණය කිරීමට හේතු වී ඇත.

පැල්වත්ත කිරි සමාගමේ මානව සම්පත් කළමණාකාර හර්ෂන් ජීවකුමාර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අවශ්‍ය සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශන අප සෑම විටම සපුරාලන බවට සහතික වීමට පුළුවන්. කර්මාන්තශාලාවේ සිටින සේවකයින් සඳහා විසබීජ නාශක, මුව ආවරණ, පීපීඊ කට්ටල සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ නොමිලේ ලබා දීමට ද අපි පියවර ගෙන තිබෙනවා. එහිදී සේවකයින්ගේ මානසික සෞඛ්‍යය සහතික කිරීමට ද විශේෂ පියවර ගෙන තිබෙනවා.”

පවතින තත්ත්වයන්ට සමපාතව සමාගම ගොඩනගා ගත් ඔරොත්තු දීමේ හැකියාව නිසා පැල්වත්ත නිෂ්පාදන ක්‍රියාවලියේ අඛණ්ඩභාවය සහතික කරනවා පමණක් නොව පෙර වසරට වඩා දෙගුණයක වර්ධනයක් අත්පත් කර ගැනීමට ද හැකිව තිබේ. 2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 වසංගතය මූලික වශයෙන් ආරම්භ වූ සමයේ සිට සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙනුවෙන් සමාගම ක්ෂණිකව දැඩි පියවරයන් රාශියක් ස්ථාපිත කරනු ලැබිණි. ඒ අනුව කාර්ය මණ්ඩලයේ, පාරිභෝගිකයින්ගේ, කිරි ගොවීන්ගේ සහ සියලුම හවුල්කරුවන්ගේ ආරක්‍ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා රජයේ සහ සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව එහි සියලුම ක්‍රියාවලීන් සිදු කෙරෙන බව සමාගම අවධාරණය කර සිටී.

හර්ෂන් මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය “මේ වන විටත් අපේ සියලුම සේවකයින්ට අවම වශයෙන් පළමු එන්නත් මාත්‍රාව ලබා දී තිබෙනවා. ඒ වගේම මෙරට ප්‍රමුඛ පෙලේ රෝහලක් සමඟ ඇති හවුල්කාරිත්වය මත සෑම සතියකම අවම වශයෙන් 50% ක පමණ කාර්ය මණ්ඩලයක් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කෙරෙනවා. මෙමඟින් සියලුම සේවකයින් මසකට දෙවරක් පරීක්‍ෂා කිරීම සහතික කරනු ලබනවා. කිසියම් අකාරයකින් රෝග ලක්‍ෂණ පෙන්නුම් කෙරේ නම් ඔවුන් PCR පරීක්ෂණ සඳහා MOH වෙත යොමු කිරීමද සිදු කෙරෙනවා. අසාධනය වීමක් වාර්තා වුවහොත් ඔවුන්ට රුපියල් 5000 ක් වටිනා සහන මල්ලක් ලබා දීමට පියවර ගෙන ඇති අතර එම කාලය තුළ ඔවුන්ට අවශ්‍ය විටමින් සහ ශාකසාර ඖෂධ ලබා දෙමින් නිරෝධායනය සදහා ද පියවර ගෙන තිබෙනවා.”

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට පැල්වත්ත සමාගමේ සමස්ථ ක්‍රියාවලියම පරීක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය  සාමාන්‍ය පරීක්ෂණ චාරිකා සිදු කිරීමට නිරන්තරයෙන්ම සහයෝගය දක්වයි. බලයලත් විෂබීජ නාශක සමාගමක් මඟින් මුළු කර්මාන්තශාලා පරිශ්‍රයම, යන්ත්‍රෝපකරණ සහ උපකරණ සතිපතා විෂබීජහරණය කරනු ලැබේ. ඇතුළත වායුගෝලය විෂබීජහරණය කිරීම සඳහා කර්මාන්තශාලාව පුරා වාෂ්ප විසිර විමේ උපකරණ ද ස්ථාපනය කර ඇත. ආසාදනය වීමේ ඉහළ අවදානමක් ඇති විශේෂ  කාර්ය මණ්ඩල ආරක්‍ෂිත ජෛව බුබුලු ආකාරයෙන් කටයුතු කරනු ලබයි. ආපනශාලා, නාන කාමර සහ වැසිකිළි වැනි පොදු ස්ථාන අවම වශයෙන් දිනකට දෙවරක්වත් විෂබීජහරණය කිරීම සිදු වේ. විශේෂයෙන්ම කර්මාන්තශාලාවට බාහිර පුද්ගලයින් ඇතුළු වීම වළක්වමින් සිය සේවකයින්ට පමණක් ඒ සඳහා ඉඩ දීමට සමාගම තීරණය කර ඇත.

පැටවීමේ ට්‍රක් රථ සහ වාහන නිතිපතා විෂබීජහරණය කෙරෙන අතර, ඒ සඳහා භාවිතා කරන බහාලුම් සහ භාජන පිරිසිදු කර, පිරිපහදු කර සනීපාරක්‍ෂක තත්ත්වයන් යටතේ තබා තිබේ.වාහන රියැදුරන් ද පරිශ්‍රයට ඇතුළු වීමට පෙර අනිවාර්යයෙන්ම විෂබීජහරණ ක්‍රියාවලියට යොමු කර ඇත.

පැල්වත්ත කිරි සමාගම මේ වන විටත් තම කාර්ය මණ්ඩලයට, එහි 10,000කට අධික කිරි ගොවීන්ට සහ කිරි කර්මාන්තය ආශ්‍රිත සහායක සේවා සපයන බොහෝ පවුල් සඳහා රැකියා සුරක්ෂිතතාව සහතික කර තිබේ. සමාගම කිරි කර්මාන්තය හා එම ප්‍රජාව අඛණ්ඩව ශක්තිමත් කරමින් සිටී. දේශීය කිරි ගොවිපල හරහා දේශීය කිරි අවශ්‍යතා සපුරාලීමේ රජ‌යේ අපේක්ෂාව සාක්ෂාත් කරලීමට  ප්‍රධාන කොටස්කරුවෙකු වීමට නුදුරු කාලයේ දී පැල්වත්ත සමාගමට හැකිවනු ඇති බව සමාගමේ විශ්වාසයයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *