දේශීය ව්‍යාපාර සමඟ ගෝලීය කර්මාන්ත සන්නාම සම්බන්ධ කරමින් Hayleys Aventura වෙතින් සන්නාම සමුළුවක්

ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ඔවුන්ගේ අන්තර්ජාතික  මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදනයන් පිළිබඳව  අවබෝධය බෙදාගැනීම වෙනුවෙන් ලෝකයේ වඩාත්ම කීර්තිමත් කාර්මික සන්නාම සහ ඔවුන්ගේ ඉහළ කළමනාකාරිත්වය ද එකතු කරගනිමින් සංවිධානය කරන ලද  සnbන්නාම සමුළුව ජුනි 27 වැනි දින සාර්ථකව පවත්වන ලදී.

Hyster (ඇමරිකා එක්සත් ජනපදය), Prestar (මැලේසියාව), Suzhou Asia Fuji (චීනය), Goodpack (සිංගප්පූරුව), A & D (ජපානය), A-Safe (එක්සත් රාජධානිය) සහ මෑතකදී එක් වූ  Avery Weigh-Tronix (එක්සත් රාජධානිය) ආදි ගෝලීය වශයෙන් කීර්තිමත් ප්‍රමුඛ පෙළේ සන්නාම රැසක් මේ සඳහා Hayleys Aventura සමග අත්වැල් බැඳගෙන තිබුණි.

මෙම සන්නාම සමුළුවේදි ප්‍රදර්ශනයට තබා තිබුණු නිෂ්පාදන හරහා තාක්ෂණික සැසි සහ ක්‍රියාකාරකම් සමඟ බාධාවකින් තොරව එකතු වීමට අවස්ථාව ලබා දුන් අතර එමඟින් සහභාගීවන්නන්ට එම විසඳුම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් ලැබිණි. Hayleys Aventura හි ගෝලීය හවුල්කාර සන්නාමවල ජ්‍යෙෂ්ඨ නායකයින්ද මේ අවස්ථාවට සහභාගි වී සිටි අතර ශ්‍රී ලංකාවේ ව්‍යාපාර   සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව මෙන්ම ලොව පුරා පවතින නවීන තාක්ෂණයෙන් යුතු බර මැනීමේ උපකරණ, විදුලි සෝපාන සහ ෆොක්ලිෆ්ට් ආදි ද්‍රව්‍ය හැසිරවීමේ ක්‍රමවේද, ඇසුරුම් රාක්ක පද්ධති සහ අතරමැදි තොග බහාලුම් (Intermediate Bulk Containers) ආදි ගබඩා කිරීමේ විසඳුම් සඳහා ප්‍රවේශය ලබා ගත හැකි ආකාරය ආදි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් අතිගරු බඩ්ලි හිෂාම් ඇඩම් මැතිතුමා, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපතිනි අතිගරු දේවි ගුස්ටිනා ටොබින් මැතිණිය සහ ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් අතිගරු තාරෙක් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් මැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික ආරාධිතයින් රැසක් ද සහභාගි වී සිටියහ.

මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වී සිටි  Hayleys Aventura හි කළමනාකාර අධ්‍යක්ෂක වසභ ජයසේකර මහතා මෙහිදී සිය අදහස් ප්‍රකාශ කළ අතර එහිදී ඔහු ආයතනයේ මෙහෙවර සහ අරමුණ පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කළේය. “අපගේ මෙහෙවර වන්නේ, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා හොඳම වර්ගයේ බර මැනීමේ උපකරණ මෙන්ම විදුලි සෝපාන සහ ෆොක්ලිෆ්ට් ආදි ද්‍රව්‍ය හැසිරවීමේ ක්‍රමවේද සහ ඇසුරුම් රාක්ක පද්ධති සහ අතරමැදි තොග බහාලුම් ආදි ගබඩා කිරීමේ විසඳුම් සඳහා දැරිය හැකි මිලෙන් යුත් ප්‍රවේශයක් ලබා දීමයි. එමෙන්ම ඔවුන්ගේ සැපයුම්දාමයන් තුළ කාර්යක්‍ෂමතාව වර්ධනය කිරීම සහ ඉහළ ගෝලීය ප්‍රමිතීන්ට අනුව විසඳුම් ලබා දීමෙන් ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපලට  සැපයීමේ හැකියාව වැඩිදියුණු කිරීම අපගේ ප්‍රධාන අරමුණයි.”

වසර ගණනක් පුරා තහවුරු  කරන ලද විශිෂ්ටත්වය සමඟින්  Hayleys Aventura ආයතනය විසින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබේ. අන්තර්ජාතික මට්ටමේ කීර්තිමත් සන්නාමයන් සමඟ උපාය මාර්ගික හවුල්කාරිත්වයන් පවත්වා ගැනීම ඔස්සේ  උසස් තත්ත්වයේ, මනා කල්පැවැත්මක් සහතික කළ නවීන තාක්ෂණය අනුසාරයෙන් නිපදවූ ෆොක්ලිෆ්ට් යන්ත්‍ර, ඇසුරුම් රාක්ක පද්ධති, විදුලි සෝපාන, වාහන නැවැත්වීමේ පද්ධති, කාර්මික සහ වාණිජ බර මැනීමේ උපකරණ, අතරමැදි තොග බහාලුම් සහ ආරක්ෂිත බාධක ඇතුළු තවත් බොහෝ දේ මිලදී ගැනීමට  අවස්ථාව සලසා දී ඇත.

සමස්ත පාරිභෝගික ගමන පුරාවටම විශිෂ්ට සේවාවක් සහ සහයෝගයක් ලබාදෙන Hayleys Aventura සතුව ඕනෑම කීර්තිමත් ෆෝක්ලිෆ්ට් සන්නාමයකට ඕනෑම අලුත්වැඩියාවක් සිදුකළ හැකි අංග සම්පූර්ණ යාන්ත්‍රික වැඩපලක් පවතින අතර ඔවුන් සිය නිෂ්පාදනවල කල්පැවැත්ම සහ විශ්වාසනීයත්වය සහතික කරයි.

“මෙම සන්නාම සමුළුවට සම්බන්ධ වූ සෑම හවුල්කාර සන්නාමයකම නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව මෙන්ම මෙරට ව්‍යාපාර කර්මාන්තයන්හි වර්ධනයට සහාය දක්වමින් දේශීය ව්‍යාපාර සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපි ස්තූතිවන්ත වෙනවා. මේ තුළින් අපගේ මූලික අරමුණ වන ‘විද්‍යාත්මක විසදුම් ක්‍රම හරහා තිරසාර නවෝත්පාදන ගොඩනැගීම’ සාක්ශාත් කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා.” යනුවෙන් ජයසේකර මහතා තවදුරටත් මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් සඳහන් කළේය.

Hayleys Aventura ආයතනයේ පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාව සහ දිවයින පුරා පිහිටා ඇති ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන 09 මඟින් අවශ්‍ය ඕනෑම අවස්ථාවක පාරිභෝගිකයන්ට සහය ලබාදීම සහතික කරයි. මෙම සියලුම සේවාවන් පළපුරුදු සහ ඉහළ දක්ෂතාවක් ඇති   Aventura  කාර්යමණ්ඩලය විසින් සපයනු ලබන අතර  එම කාර්යමණ්ඩලයේ තාක්ෂණික ප්‍රවීණතාවය සහතික කිරීම සඳහා සන්නාම ප්‍රධානීන් විසින් මනා පුහුණුවක් ඔවුන් වෙත නිරන්තරයෙන් ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ Hayleys සමූහ ව්‍යාපාරයේ කාර්මික යෙදවුම් සහ බලශක්ති ක්ෂේත්‍ර නියෝජනය කරන Hayleys Aventura ආයතනය කාර්මික යන්ත්‍රෝපකරණ, වෛද්‍ය සහ විශ්ලේෂණ විසඳුම්, කාර්මික අමුද්‍රව්‍ය මෙන්ම විදුලිබල සහ පුනර්ජනනීය බලශක්තිය ආදී වශයෙන් විවිධාංගීකරණය වූ උපාය මාර්ගික ව්‍යාපාරික ඒකක හතරකින් සමන්විත වේ. පුළුල් පරාසයක විහිදුණු මෙම නිෂ්පාදන පරාසය හරහා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේත්, පාරිභෝගික සැමගේත් අභිවෘද්ධිය සඳහා ගුණාත්මක මෙන්ම විශ්වාසනීය සේවාවක් සැපයීම Hayleys Aventura ආයතනයේ මූලික අපේක්ෂාව වේ.

ඡායාරූප විස්තරය –

Hayleys Aventura සන්නාම සමුළුව 2023හි දී Hayleys සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ සහ Hayleys Aventura හි කළමනාකාර අධ්‍යක්ෂක වසභ ජයසේකර සහභාගි වූ අනෙකුත් සන්නාම ප්‍රධානීන් සමග

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *