පරිසරය සුරැකීමට දායක වූ හලාවත සක‍්‍රීය පුරවැසියෝ

මිනිසා ඇතුළු සමස්ථ ජීවී පද්ධතිය හා පරිසරය අතර ඇත්තේ අවියෝජනීය සබදතාවයකි. අතීතයේ පටන් මිනිසා පරිසරය සමඟ පවත්වාගෙන ආ ගැඹුරු සබැදියාව වර්තමානය වන විට ගිලිහෙමින් පවතී.

මිනිසා හුදෙක්ම පරිසරයේ එක් සංරචකයක් පමණක් වන අතර පරිසරයේ පැවැත්ම පිණිස මිනිසා අත්‍යාවශ්‍ය සාධකයක්ද නොවේ. එහෙත් මිනිසාගේ ස්ථාවර පැවැත්ම කෙරෙහි පරිසර සමතුළිතතාව අත්‍යාවශ්‍ය වේ. මෙය පාරිසරික නියතිවාදය නම් වේ. මෙය මැනවින් වටහාගත් පැරැන්නෝ මිනිසා පාලනය වන්නේ සොබාදහමෙනි යැයි සිතාගෙන කටයුතු කළෝය. නමුත් සමාජ පරිණාමයත් සමග පරිසරය යනු හුදෙක්ම මිනිස් අභිමතයට අනුව භාවිත කළ හැකි දේපලක් බවට පත් විය. මේ හේතුවෙන් ගෝලීය මට්ටමින් පරිසර දූෂණය වීමක් දැකගත හැකිය.

ජෛව ගෝලය කෘතිම වෙනස්වීමකට හෝ බලපෑමකට ලක් කිරීමෙන් පරිසරයේ සම්බන්ධතාවය ඛිදවැටීම සැලකෙන්නේ පරිසර දූෂණයන් විලසය. වර්තමානයේ බොහෝ මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති ඉඩහසර අවම වී ඇත. ඒ හේතුවෙන් පරිසර පද්ධතිය රැක ගැනීමේ, නඩත්තු කිරීමේ හා ආරක්ෂා කිරීමේ වගකීම සමස්ත මානව සංහතියේ උරමත පැටවී තිබේ.

එ් අනුව ශ‍්‍රී ලංකාව තුළ පාරිසරික වෙනස්වීම් සදහා ප‍්‍රතිකර්ම කරුවන් වශයෙන් තාරුණ්‍ය දෙස තම අවධානය යොමු කළ බ්‍රිතාන්‍ය කවුන්සිලය එ් සඳහා කරිටාස් ශ‍්‍රී ලංකා ජාතික ආයතනය සමඟ අත්වැල් බැදගන්නා ලදී. කරිටාස් ශ‍්‍රී ලංකා ජාතික ආයතනය විසින් මේ උතුම් කර්තව්‍යයේ නෑඹුල් ඵල නෙලා ගැනීමේ වාසනාව කරිටාස් හලාවත ජනසවිය සෙඩෙක් ආයතනයට ලබාදෙන ලදී. ශ‍්‍රී ලංකාවේ වයඹදිග වන්නට පිහිටි පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන පුත්තලම් දිස්ත‍්‍රික්කය එක් පසෙක සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියන අතර දිස්ත‍්‍රික්කය පුරාම විසිරුණු වාරි පද්ධතියත් ඒවායින් පෝෂණය වන විවිධත්වයෙන් යුතු කෘෂි පද්ධතියකිනුත් සමන්විත වේ. ආනවිලූන්දාව ස්වභාවික කුරුළු අභය භූමියද, විල්පත්තු රක්ෂිතය ද දිස්ත‍්‍රික්කයේ දේශගුණික සමබරතාවය රැක ගැනීමේ ලා වැදගත් තැනක් ගනී. මීට අමතරව දිස්ත‍්‍රික්කය පුරා විහිදුනු කුඩා රක්ෂිත පද්ධති ගණනාවකට උරුමකම් කියයි.

ජාතීන් තුනක ආගම් හතරකට අයත් විවිධ ජන කොට්ඨාශ මිශ‍්‍ර වී විසිරුණු සමාජ පද්ධතියක් දැකගත හැකිය. මේ හේතුවෙන්ම ශ‍්‍රී ලංකාවේ වඩාත් ප‍්‍රචලිත ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථාන රාශියක් පුත්තලම් දිස්ත‍්‍රික්කය තුළ දැකගත හැකිය. දිස්ත‍්‍රික්කය තුළ කේන්ද්‍රස්ථානයක් ලෙස සැළකිය හැකි හලාවත නගරය කලකට ඉහතදී මුතුපුරය ලෙසින්ද විරුදාවලී ලබා ඇත. මෙවන් වටිනාකම් රාශියකින් සමන්විත පුත්තලම් දිස්ත‍්‍රික්කය මානව ක‍්‍රියාකාරකම් නිසා පරිහානියට ලක්වෙමින් පවතින අයුරු දැකගන්නට ලැබුණු අතර මීට පිළියම් සෙවීමට තාරුණ්‍ය බලගන්වන්නට බ්‍රිතාන්‍ය කවුන්සිලයත් කරිටාස් ශ‍්‍රී ලංකා සෙඩෙක් ආයතනයත් සමත් විය.

කරිටාස් ශ‍්‍රී ලංකා ආයතනයේ හා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මගපෙන්වීම මත හලාවත ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයක් තෝරාගෙන එම ප‍්‍රදේශවල පවතින පාරිසරික ගැටුම්කාරී තත්ත්වයන් හඳුනාගැනීමටත් එ්වාට උචිත පිළියම් සෙවීමටත් අවශ්‍ය කරුණු කාරනා වලින් සහ දැනුමෙන් තාරුණ්‍ය බලගැන්වීමට ඉහත කී ආයතන විසින් සක‍්‍රීය පුරවැසි පුහුණු වැඩසටහන ක‍්‍රියාවට නංවන ලදී. එම වැඩසටහන පුරා දින හයක් මුළුල්ලේ සම්පත්දායක මහත්ම මහත්මීන් පස් දෙනෙකුගේ මගපෙන්වීම යටතේ තෝරාගත් තරුණ තරුණියන් හැට දෙනෙකුගෙන් සැදුම්ලත් පිරිසකට අදියර දෙකක් යටතේ ක‍්‍රියාවට නංවන ලදී. මෙහිදී තෝරාගත් ප‍්‍රදේශයේ පාරිසරික ගැටළු ජන ජීවිතයට බලපාන අයුරු නිරීක්ෂණය කොට ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයට උචිත තිරසාර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා යෝජනා සැකසීමටත් තෝරාගත් ව්‍යාපෘතියට සමාජයේ විවිධ මට්ටම්වල ජනතාවගේ හා බලධාරීන්ගේ සහයෝගය ලබාගන්නේ කෙසේද යන්නත් ව්‍යාපෘතිය සදහා මූල්‍යමය කටයුතු සංවිධානය කරගන්නා අයුරු පිළිබදවත් දැනුමින් තාරුණ්‍යය සන්නද්ධ කළ අතර ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍යය මූල්‍යමය වටපිටාව කරිටාස් ශ‍්‍රී ලංකා ජාතික ආයතනය හා බ්‍රිතාන්‍ය  කවුන්සිලය එක්ව ලබාදෙන ලදී. ජාත්‍යන්තර මට්ටමේ දැනුමත් සමඟ තාරුණ්‍යයේ ආකල්ප මනාවට මුහුවූ පුහුණු වැඩසටහනක ප‍්‍රතිඵලය වශයෙන් පුත්තලම දිස්ත‍්‍රික්කයේ පරිසර පද්ධතීන් හයක් සුරැකීමට සක‍්‍රීය පුරවැසියන් ලෙස සැලසුම් කෙරුණි.

ව්‍යාපෘතියට අදාල කරුණු කාරණා සපයාගත් පසු පළමු කණ්ඩායම ලාංකීය ජනතාව අතර වඩාත් ප‍්‍රචලිත හින්දු සිද්ධස්ථානයක් වන මුන්නේෂ්වරම් කෝවිල් පුදබිම ආශ‍්‍රිත වැවෙහි ව්‍යාප්ත වී ඇති ජපන්ජබර වැස්ම ඉවත්කොට ඒ අපද්‍රව්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සදහා යොමු කළ අතර මුන්නේෂ්වරම් පුදබිම ආශ‍්‍රිතව පවතින කසල කලමනාකරණ පද්ධතිය යාවත්කාලීන කරන ලදී . මීට අමතරව මුන්නේෂ්වරම් වැව්තාවුල්ල දෙපස රුක් රෝපණ වැඩසටහනක් ක‍්‍රියාවට නංවා ස්වභාවධර්මයට සක‍්‍රීය පුරවැසියන්ගෙන් ඉටුවීමට නියමිතව තිබූ සේවයෙන් බිදක් අවසන් කරන ලදි.

”සුන්දර වෙරළ හෙටත් සුරකිමු”යන තේමාව යටතේ දෙවන සක‍්‍රීය පුරවැසි කණ්ඩායම වයික්කාල වෙරළ තීරය ආශ‍්‍රිතව වෙරළ පවිත‍්‍රතා වැඩසටහනක් සිදුකරන්නට යෙදුනේ වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයින්ට ප‍්‍රියමනාප ස්ථානයක් කරලීම අරමුණුකොට ගෙනයි. අනතුරුව වෙරළ තීරය ඛාදනය වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් කඩොලාන ශාක රෝපණය කළ අතර ගෝලීය උෂ්ණත්වය අවම කිරීම අරමුණුකොට ගෙන වැටකෙයියා ශාක රෝපණය කිරීමේ වැඩසටහනක්ද ක‍්‍රියාවට නංවන ලදී. වෙරළ ආශ‍්‍රිත කැලිකසල කළමනාකරණ පද්ධතියට ශක්තියක් වීම සඳහා නව කසල බඳුන් ස්ථාපනයටද වයික්කාල සක‍්‍රීය පුරවැසි තරුණ කණ්ඩායම අවධානය යොමු කළ අතර ප‍්‍රදේශයේ ජනතාවගේ නොමද සහයෝගයද මේ සඳහා ලැබීම සතුටට කරුණක් විය.

තුන්වන සක‍්‍රීය පුරවැසි කණ්ඩායම විසින් මහවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාරවිල වැල්ල, මාරවිල දකුණ සහ මෝදර වැල්ල ග‍්‍රාමනිළධාරි කොට්ඨාශ වලට මායිම් වන පරාක‍්‍රමභාහු රජ සමයේ තාවකාලික යුධනැව් අංගනයක් ලෙස භාවිත කරන ලද විශාල ජලාශයේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගොඩවී ඇති බිම් ප‍්‍රමාණය හැරුණුකොට ඉතිරිව ඇති කුඩා බිම් කට්ටියේ  එක් ස්ථානයක් වන ”ගම් පිඹුර” නම් ජෛව විවිධත්වයෙන් හෙබි සොඳුරු පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම මගින් ජෛව විවිධත්වය සහ මනුෂ්‍යත්වයේ පැවැත්ම තහවුරු කිරීම ප‍්‍රධාන අරමුණයි. අක්කර 100ක වපසරියක විහිදී පැවති මෙම ජලාශය විවිධ පක්ෂීන් හා මත්ස්‍යය විශේෂ වලට අමතරව උරගයින්, උභය ජීවීන් හා ක්ෂීරපායීන් ආදී ජීවී කාණ්ඩ රැසකගේ නවාතැනකි. පසුගිය අඩ සියවස තුළදී ඉතා වේගයෙන් ගොඩවන්නට ගත් මෙම විල සහිත ප‍්‍රදේශය වර්තමානයේ වගුරු බිමක් ලෙස දැකගත හැකිය. මේ ආදී වශයෙන් පාරිසරික මුදුන්මල්කඩක් වන ගම් පිඹුර නෙරිය ජෛව වැටකින් සංරක්ෂණය කිරීමට සක‍්‍රීය පුරවැසි තරුණ කණ්ඩායම මූලික අඩිතාලම සපයා තිබේ.

සක‍්‍රීය පුරවැසි පුහුණු වැඩසටහන් මාලාවේ දෙවන අධියරේ පළමු කණ්ඩායම” ගමට දියවර” තේමාව කොටගනිමින් කෝට්ටපිටිය වැව් පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වශයෙන් ජපන්ජබර වැස්ම ඉවත් කිරීම මූලික වශයෙන්ම සිදුවිය. ඊට අමතරව වැව් පද්ධතියට මායිම්වන පරිදි කුඹුක් ශාක රෝපණය කිරීමේ අධියරයක් ක‍්‍රියාවට නැංවිණි. ව්‍යාපෘතියේ අරමුණ සාර්ථක කරගැනීමට ප‍්‍රාදේශිය තරුණ සමිති සහ ගොවි සංගම්වල නොමද සහයක් ලැබුණි. ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීමේදී ඔවුන්ගේ මූලික අරමුණ වූයේ වාරි පද්ධතියේ ජලධාරිතාව වැඩිකිරීමත් මිනිසුන්ට එදිනෙදා භාවිතයට සුදුසු වන පරිදි වැව් පද්ධතිය සකසා ගැනීමත් කෘෂිකර්මාන්තයේ සහ මිරිදිය මත්ස්‍යය කර්මාන්තයේ වර්ධනයක් ඇති කිරීම වන අතර සක‍්‍රීය පුරවැසි කණ්ඩායම තිරසාර පරිසර පද්ධතියක් බිහි කිරීමට ඔවුන් විසින් ලද පුහුණුව හා දැනුම මනාව උපයෝගීකර තිබුණි. 

පස්වන සක‍්‍රීය පුරවැසි කණ්ඩායම අවධානය යොමුකරන ලද්දේ හලාවත නගරයේ හදවත බඳු වෙරළ උද්‍යානයටයි. දේශීය විදේශීය සංචාරකයින් රාශියකගේ ඇල්ම වෙරළ උද්‍යානය කෙරෙහි තිබුණද දහවල් කාලයේ වෙරළ ආශ‍්‍රිතව රැදීසිටීමට සෙවනක් නොමැති වීම හේතුවෙන් මිනිසුන්ගේ නිදහස වෙරළ උද්‍යානය සමගින් ගතකිරිමට ඇත්තේ ඉතා කුඩා කාලයකි. එ් ආශ‍්‍රිත පරිසර නිරීක්ෂණයේදී දෛනික ව්‍යායාම කටයුතු සදහා වෙරළ උද්‍යානය භාවිත කරන පුද්ගලයින්ද පවසා සිටියේ වෙරළ උද්‍යාන ආශ‍්‍රිත හරිත වැස්ම වැඩිදියුණු කළ යුතු බවයි. දීර්ඝව කරුණු කාරණා අධ්‍යයනයෙන් අනතුරුව ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමත් එදිනෙදා වෙරළ උද්‍යානය භවිතා කරන පුද්ගලයින්ට හිසට සෙවනක් සැපයීමත් අරමුණු කොට ගනිමින් වෙරළ උද්‍යානයේ ඇවිදින මංතීරුව ආශ‍්‍රිතව මූදිල්ලා ශාක රෝපණය කිරීමේ වැඩසටහනක්ද ක‍්‍රියාවට නංවන ලදී.

තාක්ෂණික දියුණුව හමුවේ දිරාපත් නොවන කැලි කසල පරිසරයට බැහැර වීම උග‍්‍ර වී ඇත. සක‍්‍රීය පුරවැසි පුහුණු පාඨමාලාවේ දෙවන අදියරේ තුන්වන කණ්ඩායම මේ පිළිබදව අවධානය යොමු කරන ලදී. දේශීය හා විදේශීය  සංචාරකයින් රාශියක් පහස ලබන හලාවත වෙරළ තීරය ඉහතකී අවදානමට දැඩි ලෙස මුහුණපා තිබුණි. මෙහිදී මූලික වශයෙන් වෙරළ පවිත‍්‍රතා ව්‍යාපෘතියක් හලාවත වෙරළ සංරක්ෂණයේ සහයද ඇතිව ක‍්‍රියාවට නංවන අතර ”පිරිසි`දු වෙරළකට පණ දෙන්න අත්වැලක්” තේමා කොටගෙන මිනිසුන්ගේ ආකල්පමය  වෙනසක් සිදු කිරීම අරමුණු කරගෙන නිර්මාණාත්මක දැන්වීම් පුවරු ස්ථාපනය කරන ලදි. මීට අමතරව හලාවත නගරසභාව විසින් පවත්වාගෙන යන කැලිකසල කළමණාකරන ව්‍යාපෘතියට අදාල කසල බඳුන් ප‍්‍රතිසංස්කරණය කළ අතර නව කසල බඳුන් ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක්ද ක‍්‍රියාවට නැංවිය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *