විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් Cleantech සම්පත් පියස රාජගිරියේදී විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම සිය නව විද්‍යුත් අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය “සම්පත් පියස” නමින් රාජගිරියේ දී විවෘත කරන ලදී. මෙම මධ්‍යස්ථානය මඟින් පාරිසරික වශයෙන් බලපෑම්කාරී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ කළ හැකි අපද්‍රව්‍ය එක්රැස් කිරීම සිදුකරනු ලබයි. රාජගිරිය හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම ව්‍යාපාරික ස්ථාන සඳහා වඩාත් පහසු,පාරිසරික වශයෙන් ආරක්ෂිත අපද්‍රව්‍ය බැහැරකිරීමේ විසඳුමක් ලෙස මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනු ලබයි.

මෙම සුවිශේෂි අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් වශයෙන් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ (WMA) සභාපති මෙරිල් පෙරේරා මහතා,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ශාලිකා රණවීර මහත්මිය මෙන්ම පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර, ප්‍රතිපත්ති හා සැලසුම්) ආර්.එචි.එම්.පී අබේකෝන් මහත්මිය, මධ්‍යම පරිසර අධිකාරියේ රසායනික හා අන්තරායකර අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රාජිත ජල්තොට මහතා ඇතුළුව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නිලධාරීන්, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ Cleantech Pvt Ltd ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් ද සහභාගී විය.

මෙම අවස්ථාව පිළිබඳව Cleantech පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුකිත නානායක්කාර මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “Cleantech ආයතනය නිරතුරුවම පාරිසරික වශයෙන් රටට හිතකර ව්‍යාපෘතීන් දියත් කිරීම කෙරෙහි අවධානය යොමුකරනු ලබනවා. රාජගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන විවෘත කරන මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉලක්කය තාක්ෂණික අපද්‍රව්‍ය  වඩාත් හොඳින් ප්‍රතිචක්‍රීකරණය සිදුකර නැවත සකස්කර භාවිතයට යොමුකිරීමයි. එ් මඟින් මෙරට ජනතාව, ව්‍යාපාර වගේම ආර්ථික උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබාදීමට අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය සැබෑවක් කරගන්න දායකත්වය ලබාදුන් Cleantech කණ්ඩායමට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ කැපවීම, මහන්සිය බෙහෙවින් අගය කළ යුතුයි.’’

Cleantech පුද්ගලික සමාගම අපද්‍රව්‍ය කළමනාකරණ හා ප්‍රතිචක්‍රීකරණය සඳහා වන නව්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ දිගුකාලීන කිර්තියක් දිනාගෙන ඇත. මෙයට අමතරව කෘත්‍රීම පාරිසරික පද්ධති නඩත්තුකරණය, සනීපාරක්ෂක සේවා පහසුකම් සැපයීම වැනි සේවාවන් හරහා වසර 21 කට වැඩි ක්ෂේත්‍රගත පළපුරුද්දක් සහිතව නව ව්‍යාපාරික අවස්ථා සංවර්ධන කරමින් ඉදිරියට ගමන් කරන ප්‍රමුඛතම සමාගමක් වශයෙන් ද Cleantech සමාගම හඳුන්වාදිය හැකිය. ඔවුන් විසින් දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතනයන්  දායකත්වය ලබාදුන් අතර මෙම කර්තව්‍යයේ ඉහළ ගුණාත්මකභාවයට එය කදිම නිදසුනකි.

“සම්පත් පියස මධ්‍යස්ථානය රාජගිරියේ ආරම්භකිරීම වෙනුවෙන් මූලිකත්වය ගත් Cleantech පුද්ගලික ආයතනයට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරනවා. මෙවැනි ව්‍යාපෘති තව තවත් රට තුළ ක්‍රියාත්මක කිරීම  රටටත් මහජනයාටත් බෙහෙවින් වැදගත් වෙනවා.’’බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති මෙරිල් පෙරේරා මහතා මෙසේ සිය අදහස් දක්වන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ශාලිකා රණවීර මහත්මිය ද මෙම අවස්ථාව පිලිබදව මෙසේ සිය අදහස් දැක්වීය. “ජනතාව බහුලව ගැවසෙන රාජගිරිය වැනි ප්‍රදේශයක මෙම මධ්‍යස්ථානය විවෘතකිරීම පිළිබඳව බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙවැනි මධ්‍යස්ථානයක් කුමන තැනක පිහිටා තිබුණත් අපගේ වගකිම විය යුත්තේ සෑමවිටම නිවැරදි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රම අනුගමනය කිරීමයි. එවිට තිරසාර පරිසරයක් නිර්මාණය කරගැනීමට අපිට නිරායාසයෙන්ම අවස්ථාව හිමිවෙනවා යැයි මම විශ්වාස කරනවා. ඒ වගේම මෙබඳු ව්‍යාපෘතීන් දිවයින පුරාම ක්‍රියාත්මක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා’’

Because We Care තේමා පාඨය යටතේ සෑමවිටම පාරිසරික තිරසාරභාවය හා වගකීම් සුරක්ෂිතකිරීම වෙනුවෙන් කටයුතු කරන සමාගමක් වශයෙන් Cleantech හඳුන්වාදිය හැකිය. දශක දෙකකට වඩා වැඩිකාලයක් තිස්සේ පරිසර හිතකාමී කසළ කළමනාකරණ විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා වශයෙන් කටයුතු කරන Cleantech පුද්ගලික සමාගමේ තවත් එක් සාර්ථක ව්‍යාපෘතියක් ලෙස සම්පත් පියස සැලකිය හැක. මෙම මධ්‍යස්ථානය හරහා ජනතාව නිවැරදි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැරකිරීමේ ක්‍රමවේදයන්ට හුරුකිරීම තිරසාර පරිසර පද්ධතියක් ගොඩනැඟීම උදෙසා වැදගත් පියවරක් වනු නොඅනුමානය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *